රුසියානු – යුක්රේන සාම සාකච්ඡා දෙවන වටය අද (02)

රුසියානු – යුක්රේන සාම සාකච්ඡා දෙවන වටය අද (02) දින පැවැත්වීමට නියමිත බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

පළමු වටයේ සාම සාකච්ඡා පසුගිය 28 වනදා පැය පහක් පුරාවට පැවති අතර එහිදී දෙපාර්ශවයට එකඟතාවයකට පැමිණීමට හැකියාවක් ලැබී තිබුණේ නෑ.

විදෙස් මාධ්‍ය පවසන්නේ අද (02) දෙවන වටයේ සාම සාකච්ඡා බෙලරුස් – පෝලන්ත දේශසීමාව අසල පැවැත්වීමට නියමිත බවයි.

බෙලරූසය රුසියන් හිතවාදී රාජ්‍යයක් වන අතර, පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර යුක්රේනයේ මිතුරෙකු ද වනවා.

දෙවැනි වටයේ සාකච්ඡා පැවැත්වීම ගැන අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට සුදානම් බවයි.

එමෙන්ම සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමට නම් සාකච්ඡා පවත්වන අතරතුර මිසයිල එල්ල කිරීම නතර කළයුතු බව ජනාධිපති සෙලෙන්ස්කි අවධාරණය කරනවා.

කෙසේ වුවද බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ පවසන්නේ රුසියානු – යුක්රේන සාම සාකච්ඡා දෙරට නායකයන් අතර හමුවක් දක්වා වර්ධනය විය හැකි බවයි.

කෙසේ නමුත් මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් කියා සිටින්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර හමුවක් පිළිබඳව සිතීමට මෙය කාලය නොවන බවයි.

POPULAR

Recent articles