අසිරිමත් ගැහැණිය

අසිරිමත් ගැහැණිය

——————————–

මගේ රහස කොහි වෙත්දැයි

රුවැති ගැහැණුන් විස්මයෙන් විමසති

මම සොබාමත් නොවෙමි

මෝස්තර නිරූපිකාවක් බඳු සිරුරකට ද

හිමි කම් නොකියමි

එහෙත් මුව විවර කළ විට

මා මුසා බස් කියන්නේ යයි ඔවුහු සිතති

මම මෙසේ කියමි

එය ඇත්තේ මගේ අතේ දුරිනි

උකුළෙහි පරතරයෙනි

පියවරක දුරිනි

දෙතොල වක් වන සැනෙනි

මම ගැහැණියක වෙමි.

අසිරිමත් ලෙස,

අසිරිමත් ගැහැණිය…!

ඒ මම ය.

පා තබන විට කුටියක් තුළට,

දුටුවන් පිනා යන ලෙස, ශාන්තව…

ඇවිද යන විට පිරිමියෙකු වෙත,

සියලු හාදයෝ නැගිට ගනිති

නැත්නම් දණින් වැටෙති

මී මැස්සන් මෙන්

මා වටා රොද බඳිති.

මම මෙසේ කියමි..

ඒ මගේ දෑස තුළ ඇති ගින්න යි.

දසන්වල කාන්තිය යි..

බමන උකුළත යි.

පයෙහි රැඳි ප්‍රමෝදය යි..

මම ගැහැණියක වෙමි.

අසිරිමත් ලෙස,

අසිරිමත් ගැහැණිය…!

ඒ මම ය.

මා තුළ තමන් කුමක් දකින්නේ දැයි

පිරිමි විමතියෙන් තමන්ගෙන් ම විමසති.

ඔවුහු වෙහෙසෙති..

එහෙත් නො හැකිය ඔවුනට

ස්පර්ශ කරනට

මා තුළ ඇති අභිරහස

වෙර දරමි පෙන්වන්නට,

එහෙත් ඔවුහු මට පවසති..

තවමත් එය දැකගනු නො හැකි බව

මම මෙසේ කියමි…

එය ඇත්තේ මගේ රවුම් පසුපස ය

සිනහවේ හිරු තුළ ය.

පාවෙන පියොවුරුවල ය

විලාසයේ අසිරිය තුළ ය..

මම ගැහැණියක වෙමි.

අසිරිමත් ලෙස,

අසිරිමත් ගැහැණිය…!

ඒ මම ය.

දැන් ඔබ දනියි

මගේ හිස නො නැමෙන හේතුව

ඔල්වර නො දෙමි

උඩ පැන රඟ නො දෙමි

උස් හඬින් කතා නො කරමි..

මා ඔබ පසු කර යන විට

එය ඔබ ආඩම්බරයට පත් කරනු ඇත..

මම මෙසේ කියමි…

එය ඇත්තේ මගේ උස් වහන් යුගළෙහි

ටක ටකස් හඬ තුළ ය.

කැරළි හිසකේ තුළය

අත්ල තුළ ය…

මගේ අවධානයට

ඔබේ ඇති ඇල්ම තුළ ය..

මන්ද මම ගැහැණියක වෙමි.

අසිරිමත් ලෙස,

අසිරිමත් ගැහැණිය…!

ඒ මම ය.

පරිවර්තනය – මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

[මායා ඇන්ජලෝ ගේ Phenomenal Woman කවියෙහි පරිවර්තනය]

POPULAR

Recent articles