Home Blog Page 147

අගමැති හා නාමල් මිරිහානේ නිවසට

0

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් ඇති බව වාර්තා වනවා.

ර​ටේ පවතින අර්බුදයට විරෝධය පා ජනපති නිවසට පිවිසෙන මාර්ගය අසළ ඊයේ (31) විරෝධතාවක් පැවැත් වූ අතර පසුව එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

මිරිහානේදී අත්අඩංගුවට ගත් පිරිස අද (01) අධිකරණයට

0

මිරිහාන ප්‍රදේශයේ (31) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර අත්අංගුවට ගත් පිරිස අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

එම ස්ථානයේ රැඳී සිටින නීතිඥ නුවන් බෝපගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මේ වන විට අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මිරිහාන ප්‍රදේශයේ මහජන විරෝධතාව අතරතුර පුද්ගලයින් 45 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

විරෝධතාකරුවන් මොරටුව මහ නගර සභාව වටලයි

0

භාණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් වඩු කාර්මිකයන් පිරිසක් මොරටුව මහ නගර සභාව වටලමින් මේ මොහොතේදී විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්යය බලකාය මාධ්‍යවේදීන්ටත් පහර දෙයි

0

ඊයේ (31) මිරිහාන ප්‍රදේශයේදී ඇතිවූ තත්වය වාර්තාකිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස් විශේෂ කාර්යය බලකා (STF) සාමාජිකයන් විසින් පහර දුන් බව පැවසෙනවා. තමන් මාධ්‍යවේදීන් බව පවසද්දීත් ඇතැම් STF නිලධාරීන් විසින් තම සහෝදර මාධ්‍යවේදීන්ට පහර දුන් බවයි එතන සිටි සෙසු මාධ්‍යවේදීන් පවසන්නේ.

“විශේෂ පොලිස් ඒකකය විසින් අප මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙනවා. ඔවුන්ගේ කැමරා උපකරණ වලටද දැඩි හානි සිදුවී ඇති බව වාර්තා වෙනවා. මේ වෙනකොට ‘සිරස’ මාධ්‍ය ආයතනයේ අවංක කුමාර හා ‘දෙරණ’ මාධ්‍ය ආයතනයේ නිශ්ශංක වේරපිටිය යන දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

මාධ්‍යවේදීන් යැයි පැවසුවද එය නොතකා පහර දීම් කර ඇති බව වාර්තා වෙනවා.

මෙම සිදුවීම කොළඹ ජනමාධ්‍ය සංගමය දැඩි ලෙස හෙළා දකින අතර මාධ්‍යවේදීන්ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා” යි මේ පිළිබඳව සටහනක් තබන මාධ්‍යවේදීන් පවසනවා.

“අත්අඩංගුවට ගත් පිරිසගේ ආරක්ෂාව තහවුරු කරන්න” – තරුණ ජනමාධ්‍යවේදීන්

0

ඊයේ (31) ඇතිවූ සිදුවීම වලදී අත්අඩංගුවට ගත් පිරිසගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබෙනවා. කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔවුන් පවසන්නේ එම සිදුවීමේදී එම ස්ථානයේ අත්අඩංගුවට ගත් පිරිසට ද පොලිසිය පහරදුන් බවයි. පහර කෑ පිරිස අතර මාධ්‍යවේදීන් ද ඉන්නා බවයි තරුණ ජනමාධ්‍යවේදීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ.

“සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.

සභාපතිතුමියනි,
විරෝධතාකරුවන්ට පහරදීම සහ අත්අඩංගුවට පත්වූවන්ට පහරදීම
මිරිහාන, පැඟිරිවත්ත මංසන්ධියේ පැවැති විරෝධතාවයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව පහර දී ඇති බවට එම ස්ථානයට ගිය පිරිස් විසින් අප වෙත දැනුම් දෙනු ලැබීය. පහර කෑ පිරිස අතර මාධ්‍යවේදීහු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ද වෙති.
එමෙන්ම එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් පිරිසට ද පොලිසිය පහර දී තිබේ. ඊට අදාල සාක්කි මේ වන විටත් ඔබ කොමිසමේ නිලධාරීන් වෙත යොමු කර තිබේ.
එසේ හෙයින්, අත්අඩංගුවට පත්වූවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් කරන ලෙසත්, විරෝධතාවට සහභාගීවූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය”
පිටපත්
චන්දන වික්‍රමරත්න මහතා – පොලිස්පති

“කළහකාරී හැසිරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක්” – ජනාධිපති මාධ්‍ය අංශය

0

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

“යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන, පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර තිබේ” යැයි ඔවුන් කියනවා.

“මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇත.

ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා තිබේ.
ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය සිදු කර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසෙන් අනාවරණය වී තිබේ” යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය අද (01) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

අදාළ මාධ්‍ය නිවේදනය –

“අප්‍රේල් 02 න් පසු විදුලිය කපන පැය ගාන අඩු කළ හැකියි” – පවිත්‍රා වන්නිආරච්චි

0

මේ වන විට මෙරට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී ඇති බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

මෙරට විදුලි පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය බලාගාර ඉදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවත් ඒ අනුව සොබා දනවි LNG විදුලි බලාගාරයෙන් 2023 වසරේදී මෙගා වොට් 200 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරිය සඳහන් කරනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති ප්‍රදේශවල විදුලිය ලැබෙන රැහැන්වලට සම්බන්ධව ඇති නිවාස ඇතුළු අනෙකුත් ස්ථානවල විදුලිය, භූමියට ගොස් විසන්ධි කිරීමේ නව වැඩපිළිවෙළක්ද ආරම්භ කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරනවා.

අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ එමෙන්ම එළඹෙන අප්‍රේල් 02 වන දින ඉන්දීය ණය ගිවිසුම හරහා තවත් ඩීසල් නෞකාවක් ලැබෙන අතර එය ලැබුණු පසු විදුලිය කප්පාදු කිරීමේ පැය ප්‍රමාණය අඩු කළ හැකි බවයි.

අද (31) ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මේ බව සඳහන් කර සිටියා.

විදුලි අර්බුදය ගැන පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජෙසේකර හා මහින්දානන්ද අලුත්ගමගේ සාකච්ඡාවක

0

මේ වනවිට රටේ පවතින විදුලි අර්බුදය විසඳීමට ගතහැකි පියවර පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (30) දින විදුලිබල අමාත්‍යාංශයේ දී පැවැත්වූ බව වාර්තා වෙනවා.

ඒ සඳහා විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය කංචන විජෙසේකර සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එක්ව තිබෙනවා.

මෙම සාකච්ඡාව පිළිබඳව පවසන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ “මේ වන විට ඉතාමත් උත්සන්න තත්ත්වයක පවතින විදුලි අර්බුදය කඩිනමින් විසඳීමට ගතහැකි පියවර පිළිබඳව මෙහීදී දීර්ඝව සාකච්ඡා වුණා” යනුවෙන්. ඒ අතර “මෙම සාකච්ඡාවේ දී සුවිශේෂී තීරණ කීපයකටද එළැඹීමට හැකියාව ලැබුණා” යි කෘෂික්‍රම අමාත්‍යවරයා පවසනවා.

භාවිතා කළත් නොකළත් ගෙවීමට සිදුවෙන NFE සමඟ ගිවිසුම්ගතවීමක්

0

අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා ඉහළ ද්‍රවී කෘත ස්වභාවික වායු පරිමාවක් සදහා භාවිතා කළත් නොකළත් මුලු ගිවිසුම් ගත පරිමාවටම ගෙවන පරිදි නිව් ෆෝට්‍රස් එනර්ජි (NFE) සමාගම සමඟ ගිවිසුම් ගතවීමක් පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා. එහි සම ලේකම් ධම්මික ගුණරත්න විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා.

ඔවුන් පවසන්නේ තම සංගමයට ලැබුණු අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මෑත කාලයේ දී පත් කරනු ලැබූ නිව් ෆෝට්‍රස් එනර්ජි (NFE) ගිවිසුම සදහා වන ‘විශේෂඥ තාක්ෂණ කමිටුව’ (Expert Technical Committee) විසින් ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා ඉහළ ද්‍රවී කෘත ස්වභාවික වායුව (Liquified Natural Gas – LNG) ප්‍රමාණයක් ලබාගැනීම සඳහා NFE සමාගම සමඟ ගිවිසුම් ගතවීමට ඉහලින් සිදුකෙරෙන ප්‍රබල බලපෑම් මත කටයුතු කරමින් සිටින බවයි. එම කමිටුවේ සාමාජිකයින් නොමඟ යවමින් ඉහළ LNG ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලය විසින් තමන් හට ඉහල LNG ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා තිබෙනවා. එය LNG අවශ්‍යතාව සඳහා කැදවනු ලැබූ ටෙන්ඩරයේ අඩංගු වී ඇති ස්වාභාවික වායු පරිමාවට සමාන බව එම බලපෑම් කරන පුද්ගලයින් විසින් පවසනු ලබන බව තමන්ට වාර්තා වන බවයි සංගමය කියන්නේ. එම ප්‍රමාණය Build Operate and Transfer – (BOT) යටතේ යෝජිත ස්වභාවික වායු පර්යන්තයකින් ලබා ගැනීමට යෝජනා කළ ප්‍රමාණයට සමාන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ලංවිම විසින් ලංසු කැඳවනු ලැබ ඇත්තේ හුදෙක්ම ‘පාවෙන, ගබඩාකරණ ස්වභාවික වායු පර්යන්තයක්’ (Floating Storage Regassification Unit – FSRU), BOT කුලී පදනම මත ලබා ගැනීමට පමණක් බවත්, එසේ හෙයින්ම එම ටෙන්ඩරයේ අන්තර්ගතය තුළ කිසිසේත්ම ස්වාභාවික වායු ඉන්ධනය මිලදී ගැනීම (LNG fuel procurement) සඳහා හෝ එසේ මිලදී ගතයුතු අවම ස්වභාවික වායු පරිමාවක් සදහන් වීම අදාළ කරුණක් නොවන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

“රජයේ නව පුනර්ජනනීය බලශක්ති උත්පාදන ප්‍රතිපත්තියට අනුව ඉදිරියේ දී ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) අවශ්‍යතාව ක්‍රම ක්‍රමයෙන් අඩුවන බවත්, එසේම පුරෝකතනය කළ වාර්ෂික පරිමාව වාර්ෂිකව අවම අගයක් සහ උපරිම අගයක් අතර විචල්‍ය වන බවත් ඉතා පැහැදිලිව පෙනී යයි. එබැවින් ඉදිරියේ දී LNG ඉන්ධනය මිලදී ගැනීම සඳහා එළඹෙනු ලබන ගිවිසුමක අඩංගු විය යුත්තේ අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අවම LNG පරිමාව පමණකි. එය දිගු සහ මාධ්‍ය කාලීන ගිවිසුම් මතත්, අවම ඉන්ධන අවශ්‍යතාවයට වඩා වැඩියෙන් වෙනස්විය හැකි LNG ඉන්ධන පරිමාව කෙටිකාලීන, විචල්‍ය, නම්‍යශීලී ගිවිසුම් මගින් (short term flexible contracts) මගින් මිලදී ගැනීම වන ලෙසත් පමණක් බවත් ඉතා පැහැදිලිය. එහෙත් ඒ වෙනුවට ඉතා ඉහල LNG ඉන්ධන පරිමාවක් ‘භාවිතා කළත් නැතත්’ ගෙවනු ලබන කොන්ත්‍රාත් (Take or Pay contract) මත NFE සමාගම හට ලබාදීමට යන බව ඉතා පැහැදිලිය” යනුවෙන් එම නිවේදනයේ දැක්වෙනවා.

රටේ මහජනයාට ජන මාධ්‍යට සහ සියලු දේශපාලන පක්ෂවලට ප්‍රකාශ කර සිටින්නේ, යම් හෙයකින් රටේ අවශ්‍යතාවය ඉක්මවා යන වායු පරිමාවක් New Fortress Energy සමාගම හෝ (හුදෙක් රැවටීම සදහා පිහිටුවනු ලැබූ රජය සතු LNG මිලදී ගැනීම සදහා වන අතරමැදි සමගම) සමඟ ගිවිසුම් ගත වුවහොත් “අවශ්‍ය වුවද නැතද ගෙවීමට සිදුවන ගිවිසුම්” (Take or Pay) හේතුකොට රටට සිදුවන සියලු මූල්‍ය අලාභ මෙම කමිටු සාමාජිකයන්ගේ සහ එම කමිටුවට උපදෙස් සපයනු බවට කියන උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙක් තිදෙනාගෙන් ගේ පෞද්ගලික මුදලින් අනිවාර්යයෙන්ම අය කළ යුතු බවයි ලංකා විදුලි බල මංණ්ඩල ඉංජිනේරු සංගමයේ, සම ලේකම්, ධම්මික ගුණරත්න විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මරණ දඬුවම නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකර නිදහස් කෙරේ

0

මරණ දඬුවම නියම වී සිටි පොහොට්ටුවේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය විසින් නිදහස් කර තිබෙනවා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මීට පෙර ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මරණ දඬුවම නියම කෙරුණා. එම වෙඩිතැබීම සිදුව තිබුණේ කහවත්තේ පැවති රැළියකදී යි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ ඒ පිළිබඳව නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ ඝාතන චෝදනාවට වරදකරු කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට 2020 වසරේ ජූලි මස 31 වනදා රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළා.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාම අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

අද (31) අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ, ප්‍රේමලාල් ජයසේකර චෝදනාවලින් නිදහස් කරන ලෙසයි.