භාවිතා කළත් නොකළත් ගෙවීමට සිදුවෙන NFE සමඟ ගිවිසුම්ගතවීමක්

අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා ඉහළ ද්‍රවී කෘත ස්වභාවික වායු පරිමාවක් සදහා භාවිතා කළත් නොකළත් මුලු ගිවිසුම් ගත පරිමාවටම ගෙවන පරිදි නිව් ෆෝට්‍රස් එනර්ජි (NFE) සමාගම සමඟ ගිවිසුම් ගතවීමක් පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා. එහි සම ලේකම් ධම්මික ගුණරත්න විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා.

ඔවුන් පවසන්නේ තම සංගමයට ලැබුණු අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මෑත කාලයේ දී පත් කරනු ලැබූ නිව් ෆෝට්‍රස් එනර්ජි (NFE) ගිවිසුම සදහා වන ‘විශේෂඥ තාක්ෂණ කමිටුව’ (Expert Technical Committee) විසින් ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා ඉහළ ද්‍රවී කෘත ස්වභාවික වායුව (Liquified Natural Gas – LNG) ප්‍රමාණයක් ලබාගැනීම සඳහා NFE සමාගම සමඟ ගිවිසුම් ගතවීමට ඉහලින් සිදුකෙරෙන ප්‍රබල බලපෑම් මත කටයුතු කරමින් සිටින බවයි. එම කමිටුවේ සාමාජිකයින් නොමඟ යවමින් ඉහළ LNG ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලය විසින් තමන් හට ඉහල LNG ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා තිබෙනවා. එය LNG අවශ්‍යතාව සඳහා කැදවනු ලැබූ ටෙන්ඩරයේ අඩංගු වී ඇති ස්වාභාවික වායු පරිමාවට සමාන බව එම බලපෑම් කරන පුද්ගලයින් විසින් පවසනු ලබන බව තමන්ට වාර්තා වන බවයි සංගමය කියන්නේ. එම ප්‍රමාණය Build Operate and Transfer – (BOT) යටතේ යෝජිත ස්වභාවික වායු පර්යන්තයකින් ලබා ගැනීමට යෝජනා කළ ප්‍රමාණයට සමාන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ලංවිම විසින් ලංසු කැඳවනු ලැබ ඇත්තේ හුදෙක්ම ‘පාවෙන, ගබඩාකරණ ස්වභාවික වායු පර්යන්තයක්’ (Floating Storage Regassification Unit – FSRU), BOT කුලී පදනම මත ලබා ගැනීමට පමණක් බවත්, එසේ හෙයින්ම එම ටෙන්ඩරයේ අන්තර්ගතය තුළ කිසිසේත්ම ස්වාභාවික වායු ඉන්ධනය මිලදී ගැනීම (LNG fuel procurement) සඳහා හෝ එසේ මිලදී ගතයුතු අවම ස්වභාවික වායු පරිමාවක් සදහන් වීම අදාළ කරුණක් නොවන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

“රජයේ නව පුනර්ජනනීය බලශක්ති උත්පාදන ප්‍රතිපත්තියට අනුව ඉදිරියේ දී ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) අවශ්‍යතාව ක්‍රම ක්‍රමයෙන් අඩුවන බවත්, එසේම පුරෝකතනය කළ වාර්ෂික පරිමාව වාර්ෂිකව අවම අගයක් සහ උපරිම අගයක් අතර විචල්‍ය වන බවත් ඉතා පැහැදිලිව පෙනී යයි. එබැවින් ඉදිරියේ දී LNG ඉන්ධනය මිලදී ගැනීම සඳහා එළඹෙනු ලබන ගිවිසුමක අඩංගු විය යුත්තේ අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අවම LNG පරිමාව පමණකි. එය දිගු සහ මාධ්‍ය කාලීන ගිවිසුම් මතත්, අවම ඉන්ධන අවශ්‍යතාවයට වඩා වැඩියෙන් වෙනස්විය හැකි LNG ඉන්ධන පරිමාව කෙටිකාලීන, විචල්‍ය, නම්‍යශීලී ගිවිසුම් මගින් (short term flexible contracts) මගින් මිලදී ගැනීම වන ලෙසත් පමණක් බවත් ඉතා පැහැදිලිය. එහෙත් ඒ වෙනුවට ඉතා ඉහල LNG ඉන්ධන පරිමාවක් ‘භාවිතා කළත් නැතත්’ ගෙවනු ලබන කොන්ත්‍රාත් (Take or Pay contract) මත NFE සමාගම හට ලබාදීමට යන බව ඉතා පැහැදිලිය” යනුවෙන් එම නිවේදනයේ දැක්වෙනවා.

රටේ මහජනයාට ජන මාධ්‍යට සහ සියලු දේශපාලන පක්ෂවලට ප්‍රකාශ කර සිටින්නේ, යම් හෙයකින් රටේ අවශ්‍යතාවය ඉක්මවා යන වායු පරිමාවක් New Fortress Energy සමාගම හෝ (හුදෙක් රැවටීම සදහා පිහිටුවනු ලැබූ රජය සතු LNG මිලදී ගැනීම සදහා වන අතරමැදි සමගම) සමඟ ගිවිසුම් ගත වුවහොත් “අවශ්‍ය වුවද නැතද ගෙවීමට සිදුවන ගිවිසුම්” (Take or Pay) හේතුකොට රටට සිදුවන සියලු මූල්‍ය අලාභ මෙම කමිටු සාමාජිකයන්ගේ සහ එම කමිටුවට උපදෙස් සපයනු බවට කියන උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙක් තිදෙනාගෙන් ගේ පෞද්ගලික මුදලින් අනිවාර්යයෙන්ම අය කළ යුතු බවයි ලංකා විදුලි බල මංණ්ඩල ඉංජිනේරු සංගමයේ, සම ලේකම්, ධම්මික ගුණරත්න විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

POPULAR

Recent articles