Home Blog Page 12

සිපෙට්කෝ පිරවුම්හල් පවත්වාගෙන යන්න බෑ

ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමේදී බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් හා ණය සඳහා පොලී අනුපාත සීඝ්‍ර ඉහළ දැමීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න අද (23) පෙරවරුවේ කියා සිටියා.

බැංකු අයිරා සඳහා අය කරන පොලිය 34%ක් දක්වා ඉහළ දමා ඇති බව ඔහු සඳහන් කරනවා.

සිපෙට්කෝ පිරවුම්හල්වලට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීමත් QR කේතයට බස් රථ, ලොරි රථ හා වෙනත් ඉන්ධන අවශ්‍යතා සදහා නිකුත්කිරිමට සංස්ථාව තවමත් අපොහොසත්වීම නිසා පිරවුම්හල් තව දුරටත් අපහසුතාවට පත්ව ඇති බව ද ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියා.

රුපියලට 03වෙනි ස්ථානය

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී තිබෙනවා.

ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 47.79% කින් අවප්‍රමාණය වී ඇතැයි මහාචාර්ය ස්ටීව් හැන්ක් පවසනවා.

ශ්‍රේණිගත කිරීමට අනුව පළමුවෙනි ස්ථානය සිම්බාබ්වේ මුදල් ඒකකයටත්, දෙවැනි ස්ථානය කියුබානු මුදල් ඒකකයටත් හිමිව තිබෙනවා.
ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ සිම්බාබ්වේ භාවිතා කරන RGT ඩොලරයේ අගය ඇමෙරිකානු ඩොලරයට
සාපේක්ෂව 73.33%කින් අවප්‍රමාණය වී ඇති අතර කියුබානු පෙසෝ මුදල් එක්කයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 57.65% කින් අවප්‍රමාණය වී තිබෙන බවයි කියන්නේ.

විදෙස් ගමන් සීමා කෙරේ

0

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතු කොටගනිමින් වියදම් පාලනය කිරීම සඳහා ඉදිරියේ දී අමාත්‍යවරුන් විදෙස් ගමන් සීමා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුවේ දෙදෙනකුට මාළු විෂ වෙයි

0

පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු දෙදෙනෙක් මාළු විෂවීමෙන් දැඩි ලෙස රෝගාතුරවීම නිසා නාරාහෙන්පිට පොලිස් රෝහලට ඊයේ (22) දහවල් ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා

දැඩි ලෙස රෝගාතුර වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව දෙදෙනා ගිලන් රථයකින් රෝහල කරා රැගෙන ගොස් තිබෙනවා.

නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් සේලයින් පවා ලබාදී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ තනිකඩ නිවස්නයට එහි ආපනශාලා අංශයෙන් ඊයේ (22) දහවල් සපයා තිබූ මාළු ආහාරයට ගැනීමෙන් අනතුරුව නිලධාරීන් දෙදෙනා මෙසේ අසාධ්‍ය තත්වයට පත්ව ඇති බවයි.

එමෙන්ම පොලිසියට ලබාදුන් මාළු නරක් වී ඇති බව දැනගන්නට ලැබීමෙන් පසු ආපනශාලා අංශය එම මාළු ඉවත්කර දිවා ආහාරය සඳහා සැමන් පිළියෙළ කර ඇති බවද වාර්තා වනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඇතැම් අංශවලට ඊයේ (22) දවල් ආහාර සැපයීමද ප්‍රමාද වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත පැමිණිලි කර ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

”විපක්ෂයේ කාර්යභාරය හැමදේටම විරුද්ධ වෙන එක නෙවෙයි” – අජිත් රාජපක්ෂ

0

සෑම කරුණකටම විරුද්ධ වීම විරුද්ධ පක්ෂයේ කාර්ය භාරය නොවිය යුතු බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසනවා. රටේ පවතින තත්ත්වයන් ගැන අවධානය යොමුකර සාධනීය ප්‍රතිචාර දැක්වීම වගකිව යුතු විපක්ෂයක කාර්යය භාරය විය යුතු යැයි ඔහු කියනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කෙරුණු ජාතික සභාවට සහාය නොදී හැම කරුණකටම විරුද්ධවීමෙන් විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්න කරන නියෝජ්‍ය කතානායකවරයා රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකදී ආණ්ඩුවේ වගකීම මෙන්ම විරුද්ධ පක්ෂයේ වගකීම ගැනද රටේ පොදු මහජනතාව ඉතා හොඳ අවධානයකින් පසුවන බවයි කියන්නේ.

වල් නාශක ආනයනයට අවසර

0

ග්ලයිෆොසේට් වල් නාශකය ආනයනය සඳහා පණවා තිබූ සීමා ලිහිල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව පූර්ණ අධීක්ෂණයක් යටතේ ග්ලයිෆොසේට් ආනයනයට අවසර හිමිවනවා.

ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, ජනාධිපතිවරයා විසිනුයි.

මීට පෙර ගල්යිපොසෙට් ආනයනයට රජය අවසර දී තිබුණේ තේ වගාව සඳහා පමණක් වනවා.

විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ

0

අද (23) සිට 25 දක්වා පැය 2 විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම (PUCSL) විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව A – W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේදී පැය 01 හා රාත්‍රියේ පැය 01 විනාඩි 20ක් ලෙස විදුලිය කප්පාදු කරනු ලැබෙනවා.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විදුලි බිලට සහනයක්

0

දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) වී ජයකොඩි සඳහන් කරන්නේ මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව විහාරස්ථානවල විදුලි බිල සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිර්දේශයක් ලබාදුන් පසු විදුලි බල මණ්ඩලය සහනදායිව විදුලිබිල නිර්මාණය වූ බවයි.

විදුලිබිල ගෙවීමට අපහසු දුෂ්කර විහාරස්ථාන සම්බන්ධයෙන් ලේඛනයක් සකස් කරමින් පවතින බවත් එම විහාරස්ථාන සඳහා පෙර පරිදි සහනය ලබාදෙන ලෙස නිර්දේශ ලබාදීමට නියමිත බවද ඔහු සඳහන් කරනවා.

පිරිවෙන් ඇතුළු අනෙකුත් විහාරස්ථාන සඳහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.

කෑම නැත්තම් කියන්න දුරකථන අංකයක්

0

පාසල් දරුවෙකු දිවා ආහාරය සඳහා පොල් මද රැගෙන ඒමේ පුවත අසත්‍යයක් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියන්නේ. එහෙත් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති කාර්යාලයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකසා ඇති බව ඔවුන් පවසනවා.

ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාර සඳහා කළටි පොල් මද රැගෙන ඒමේ සිදුවීමක් පිළිබඳ ජාතික පුවත්පත්වල සහ සමාජ මධ්‍යයන්හි පළවන ප්‍රවෘත්තිය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති අතර මිනුවන්ගොඩ කලාප අධ්‍යක්ෂ වජිර රණරාජා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ දිවුලපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ කෝංගොඩමුල්ල ශාන්ත අන්තෝනි කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය හා එම සිදුවීමට අදාළ සිසුවිය ජීවත්වන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී හා සංවර්ධන නිලධාරී යන සියලු නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු අනුව එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවට කරුණු තහවුරු කරගත් බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

එහෙත් රටේ මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රටේ ඕනෑම තැනක යම් දරුවෙක්, පුද්ගලයෙක් හෝ පවුලක් මෙවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන බව මෙම සිදුවීමෙන් පසුව ජනාධිපති කාරයාලය නිවේදනය කරනවා.

ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් මත බව සඳහන් කරමින් ජනාධිපති කාර්යාලයේ ද ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙන බව ඔවුන් පවසනවා. ඒ සඳහා අංක 0114354647 හෝ 0114354354 අමතා දිගු අංක 5705 / 5707 ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ වෙමින් තොරතුරු ලබාගත හැකිබව ජනාධිපති මාධ්‍ය ඒකකය කියනවා.

සාමාජිකයන් 05 දෙනෙකුට වැඩියෙන් සිටින සමෘද්ධිලාභී පවුල්, ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙලෙන අය සිටින පවුල්, අවුරුදු 05ට අඩු ළමයින් සිටින දුගී පවුල්, ස්වාමියා හෝ බිරිඳ නොමැති පවුල්, ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනයවත් නොලැබූ දුගී පවුල්, දරුණු ආහාර අහේනියකට මුහුණ පා සිටින පවුල්, ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර්ණායක ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙවැනි පවුල් සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ මාසිකව රුපියල් 15,000 ක් ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබාදීමට හැකියාව ඇති බවයි එම ඒකකය කියන්නේ. එහිදී මුල් මාස 03 සඳහා මුදල් ලබාදෙන අතර තවත් මාස 06 ක් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන බව කියනවා.
“අධික ආහාර අහේනියකින් පෙළෙන පවුල් 61,000ක් සඳහා රජයෙන් මාසිකව රු. 10,000ක්, මාස 06ක් දක්වා ලබාදීමට කටයුතු සකස් කර තිබේ.
මෙම කිසිවකට ඇතුළත් නොවුණ, මේ අවස්ථාවේ ආහාර නොමැතිකමින් පීඩා විඳින පවුල් සිටී නම් ඒ අය සඳහා ද කෙටිකාලීනව ආහාර ලබාදීමේ හැකියාවක් පවතින අතර ඔවුන් ඒ වෙනුවෙන් ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් හරහා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකය වෙත ඉල්ලීමක් කළ යුතුවේ.

ඊට අමතරව මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සිටින පවුල් සිටී නම්, එවැනි පවුල් සඳහා රජයෙන් ක්‍රියාත්මක කෙරෙන මාපිය කැපකරු ක්‍රමය වැනි වැඩසටහන් ඔස්සේ අධ්‍යයනයන් සිදු කොට ආහාර ආධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

එමෙන්ම ආහාර නොමැති කමින් පෙළෙන පවුල් පිළිබඳව තොරතුරු පාසල් ගුරුවරුන්ටද මැදිහත් වී අදාළ අංශ වෙත යොමු කළ හැකි අතර එවැනි පවුල් සඳහා ආධාර උපකාර කිරීමට කැමති හා හැකියාවක් සහිත අයට ද මේ සඳහා සම්බන්ධ වී කටයුතු කිරීමේ අවස්ථාව පවතී.

ඊට අමතරව ග්‍රාම නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ සමග සම්බන්ධ වී මෙම වැඩසටහන් ක්‍රියාත්මත කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමේ අවස්ථාව ද තිබේ” යයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

”රුපියලුත් නෑ,ඩොලරුත් නෑ” – රංජිත් සියඹලාපිටිය

0

රට වෙනුවෙන් බදු ගෙවන්නෙක් වන ලෙස ජනතාවට ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

“අපේ රටේ බදු ආදායම වැඩිකර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. අපි දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 8ක තරම් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි ළඟ රුපියලුත් නෑ අපි ළඟ ඩොලරුත් නෑ. අපිට වැටුප් ගෙවන්නත් අමාරුයි.

ඉතින් අපි මේක වළක්වා ගන්න නම් අපේ බදු ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 15ක් වත් කරගන්න අවශ්‍යයි. ඒ නිසා අපි එතැනදී විශේෂයෙන්ම අපේ සෘජු බදු ප්‍රමාණය වැඩිකරගතයුතුයි. සංයුතියක් හැටියට අපි ඉන්නේ සියයට 20ක් සෘජු බදු සහ වක්‍ර බදු සියයට 80ක්. අපි ජනතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වන්නේ මේ රට වෙනුවෙන් අපිත් බදු ගෙවන්නෙක් වෙමු”යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.