“වැඩට එන්න එපා කියලා කවුරුත් කිව්වේ නෑ” – සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ

සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂට සේවයට වාර්තා නොකරන ලෙස මීට පෙර වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබුණා. එසේ තිබියදීත් ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම නිසා එම දෙපාර්තමේන්තුව තුළ ගැටුම්කාරී තත්වයක් මතුවී ඇතැයි වාර්තා වෙනවා. මේ තත්වය නිසා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවක කණ්ඩායම් අතරද දැඩි නොසන්සුන්කාරී තත්වයක් මතුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

සේවයට වාර්තා නොකරන ලෙස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ශර්මිලා රාජපක්ෂට දැනුම්දී ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තෙක් බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. අදාළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පත් කෙරුණු කමිටුවක් මේ දිනවල විමර්ශනයක් පවත්වාගෙන යන බව වාර්තා වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයා ශර්මිලා රාජපක්ෂට සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කරමින් කටයුතු කරන බව පැවසෙනවා.

ඇය පින්නවල අලි අනාථාගාරයටද ගොස් එහි කටයුතු නිරීක්ෂණය කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ශර්මිලා රාජපක්ෂගේ මෙම ක්‍රියා ක්‍රියාකලාපය ඇයගේ යහපතට මෙන්ම ආයතනයේ පැවැත්මටද අහිතකර එකක් බවයි. අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම්දීම ඇය සැලකිල්ලට ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ අනුදැනුම මත තමා සේවයට වාර්තා කළ බවයි. සේවයට වාර්තා නොකරන ලෙස තමාට කිසිවකු දැනුම්දී නැතැයිද ඇය පවසනවා.

සොරකම් සිද්ධීන් ගණනාවක් සහ සතුන්ගේ මරණ සම්බන්ධයෙන් තමා කළ පැමිණිලි අනුව දැනට පරීක්ෂණ තුනක් පැවැත්වෙන බවත් මේ පරීක්ෂණවලින් සත්වෝද්‍යානයේ සිදුවී ඇති සියලු දේ අනාවරණය වනු ඇති බවත් ඇය පවසා තිබෙනවා. දූෂණ වංචා සම්බන්ධයෙන් තමාට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත්වී නැතැයි ඇය කියා ඇති බවයි වාර්තා වන්නේ.

POPULAR

Recent articles