ෂෙහාන් මාලක ගමගේට ඇප

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඊයේ (14) දින අත්අඩංගුවට ගත් බව කියූ ෂෙහාන් මාලක ගමගේට අද ඇප ලබාදී තිබෙනවා. ඊයේ දිනයේ දී පානදුර ප්‍රදේශයේ දී සුදු වෑන් රථයකින් පැමිණි අනන්‍යතාව හෙළිනොකළ සිවිල් කණ්ඩායමක් ෂෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව එම කණ්ඩායම පවසා තිබුණේ තමන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ බවයි.

අද දිනයේ ෂෙහාන් මාලක ගමගේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමෙන් පසුව මෙලෙස ඇප ලබා දී තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව පසුගිය අගෝස්තු මාසයේදී කළ ප්‍රකාශයක් ගැන නීතිපතිවරයාගේ උපදෙස් මත ෂෙහාන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ.

ෂෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ කිතුනු සභාව මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට එරෙහිවට අදහස් දක්වා තිබූ අතර ඒ මොහොතේ පටන් දෙස් විදෙස් කිතුනු ප්‍රජාව එම අත්අඩංගුවට ගැනීම හෙලා දැක තිබුණා. ඒ අතර විවිධ මානව හිමිකම් සහ සමාජ ක්‍රියාකාරීන්ද ඔහුගේ අත්අඩංගුවට ගැනීම හෙලා දැක තිබීමත් විශේෂයක්.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රජය කෙරෙහි ජනතාවගේ අනාදරය ඇතිවන ආකාරයෙන් කටයුතු කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලක ගමගේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියෝග කළේ. සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ෂෙහාන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළා.

ෂෙහාන් ඉකුත් අගෝස්තු මස 17 වැනිදා මරදානේ පිහිටි සාමය හා සමාජයීය කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්ති ප්‍රකාරව රජය කෙරෙහි ජනතාවගේ අනාදරය ජනිත වන ආකාරයෙන් කටයුතු කර ඇති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගත් බව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

POPULAR

Recent articles