EPF, ETF අරමුදල්වලින් අධිභාර බද්ද අකුලාගනියි

අයවැයෙන් යෝජනා කළ සියයට 25 අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් අය නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

අයවැයෙන් සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමට තීරණය කළේ වාර්ෂිකව රුපියල් කෝටි 200 ක ට වැඩි ආදායමක් ලබන සමාගම්, පුද්ගලයන්ගෙන් සහ හවුල් ව්‍යාපාරවලින් බවයි මුදල් ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ.

මුදල් ඇමතිවරයාගේ අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් අයකර ගැනීමට මීට පෙර සුදානම් වුවත් ඊට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ආදියෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ විශ්‍රාම වැටුප් අරමුදල සමාගම් බවට පත් කර ඇත්තේ පසුගිය ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ පනතකින් බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමැතිවරයා එය නිවැරදි කරන බවත් පවසා තිබෙනවා.

ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවක භාරකාර අරමුදලෙන් සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇමතිවරුන් ගණනාවක් විරෝධය පළ කිරීම සැලකිල්ලට ගනිමින් බවයි ආරංචි මාර්ග පවසන්නේ.

අධිභාරය පැනවීමට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානයක්කාර, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, මහින්ද අමරවීර ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකුම කැබිනට් රැස්වීමේ දී අදහස් ප්‍රකාශ කර තියෙනවා. මේ සම්බන්ධයෙන් අද (15) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යයට පැහැදිලි කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ ඇමතිවරුන්ට දැනුම් දුන් බවයි කියන්නේ.

POPULAR

Recent articles