අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය

එක් කොමසාරිස්වරයෙකුගේ අත්සනින් නඩු පැවරිය හැකි වන පරිදි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවයි කියන්නේ.

කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැතිව පවරන ලද නඩු 70කට අධික ප්‍රමාණයක් පසුගිය කාලය තුළ ඉවත් කරගනු ලැබුවා. ඊට හේතුව ලෙස අධිකරණයට දක්වන ලද්දේ කොමසාරිස්වරුන්ගේ අත්සන් පිළිබඳ තාක්ෂණික දෝෂයයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කෙරුණු අනෝමා පොල්වත්ත එදිරිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නඩු තීන්දුව මගින් මේ කොමසාරිස්වරුන් තිදෙනාගේ අත්සන්වලට අදාළ ගැටලුව මතු කර තිබුණා. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයන්ගේ තීරණාත්මක නඩු රැසක් ඉවත් කරගැනීමත් සමඟ මේ අත්සන් ගැටලුව පිළිබඳ සමාජයේ දැඩි අවධානය යොමු වුණා.

මේ නඩු ඉවත් කරගැනීම පිළිබඳව අදහස් දක්වමින් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අවධාරණය කර තිබුණේ මේ සියලු නඩු පවරා තිබුණේ ප්‍රමාණවත් සහ ප්‍රබල සාක්ෂි මත බවයි. තාක්ෂණික ගැටලුව මගහැර ගැනීමෙන් පසු එම නඩු නැවත පැවරීම සඳහා කිසිදු බාධාවක් නැති බව ද හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles