“කැලණිතිස්ස බලාගාරයේ ඉන්ධන අදින් ඉවරයි” – ලංකා විදුලිබල මණ්ඩලය

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය හෙවත් නැප්තා බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන පවතින්නේ අද (11) දිනට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි සඳහන් කරන්නේ අද (11) රාත්‍රියෙන් පවතින ඉන්ධන අවසන් වීමට නියමිත බවයි.

එමෙන්ම බලාගාරයේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් ඊයේ (10) ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාදුන් බව ඔහු සඳහන් කර සිටි අතර එය ප්‍රමාණවත් වන්නේ අද දිනය සඳහා පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා.

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක් වනවා.

අද දිනය තුළ ඒ සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණ හොත් බලාගාරය අක්‍රීය වන බව ඇන්ඩෘ නවමුනි මහතා සඳහන් කළේ ය.

පසුගිය 2 වනදා සිට කැලණිතිස්ස ඩීසල් බලාගාරය ද අක්‍රීය කෙරුණේ ඉන්ධන නොලැබීම හේතුවෙනුයි.

කෙසේ වුවද සංයුක්ත චක්‍රීය බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණහොත් හෙට (12) සිට යළි විදුලිය සැපයුමට බාධා එල්ල විය හැකි බව ඔහු ප්‍රකාශ කර සිටිනවා.

ඒ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

මිලදීගත් ඉන්ධන සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවට ගෙවා ඇති මුදල රුපියල් බිලියන 20 ක් වනවා.

POPULAR

Recent articles