ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරන්න

ශ්‍රී ලංකා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වන මෙරට සිවිල් සංවිධාන නියෝජිතයන් සමස්ත පනතම මුළුමනින් අහෝසි කරන ලෙසට බලකර සිටිනවා.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ සිවිල් සමාජයේ ප්‍රකාශය” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ යෝජිත සංශෝධන මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන භයානක මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

සිවිල් සංවිධාන නියෝජිතයන් 70 දෙනෙකුගේ සහ සංවිධාන 32ක අත්සනින් යුතුව මේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

“ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත 2022 ජනවාරි 27 දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලදී. යෝජිත සංශෝධන මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන භයානක මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පහත අත්සන් තබන අපි දැඩි කලකිරීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිවත්, වර්තමානයේදී විරුද්ධ මතධාරීන්ට එරෙහිවත් බව අපි අවධාරණය කරන්නෙමු.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස හා එතෙක් එම නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස වන අපගේ ඉල්ලීම අපි නැවත කරන්නෙමු. මෙය එම නීතිය නිසා අහිතකර බලපෑමට ලක්වූ ප්‍රජාවන්ගේ ඉල්ලීම හා අනුකූල වේ. ඇප පනත යටතේ සුදුසුකම් නොලබන පුද්ගලයන් හැර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුදෙනා නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. ඊනියා පාපෝච්චාරණය පමණක් එකම මූලික සාක්ෂිය බවට පත්කරගෙන නඩු පැවරීම අත්හිටුවන ලෙස අපි ඉල්ලා සිටිමු.

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) වැනි ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කර තිබෙන, එම නිසා ගරු කළ යුතු හා ආරක්ෂා කළ යුතු වන ජාත්‍යන්තර සම්මුති සමග අනුගත ප්‍රමිතිවලට යෝජිත සංශෝධන අනුකූල වන්නේ නැත. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ විධිවිධාන සමග අනුකූල වන්නේ ද නැත” යි එම නිවේදනයේ සඳහන්.

POPULAR

Recent articles