ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 දී පෘථිවියට කඩාවැටෙයිද?

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) 2030 වසර දක්වා භාවිතයේ පවතිනු ඇතිබවත්, අනතුරුව 2031 වසරේ මුල්භාගයේ දී ශාන්තිකර සාගරයට කඩා වැටෙනු ඇතිබවත් NASA ආයතනය ප්‍රකාශ කරයි.

එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනය ගිය සතියේ වාර්තාවකින් නිකුත්කරමින් පැවසුවේ ISS, ශාන්තිකර සාගරයේ ‘පොයින්ට් නීමෝ’ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයට කඩා වැටෙනු ඇතිබව යි.

මෙය පෘථිවියේ ගොඩබිමකට වඩාත්ම ඈතින් පිහිටන සාගර ප්‍රදේශය වන අතර, එය ‘අභ්‍යාවකාශ යානා සුසානය’ ලෙස ද හඳුන්වනු ලැබේ.

2001 වසරේ දී කඩා වැටුණු ‘මීර්’ නම් රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ද ඇතුළු බොහෝ පැරණි චන්ද්‍රිකාවන් හා අනෙකුත් අභ්‍යවකාශ සුන්බුන් ද මෙම ස්ථානයට කඩා වැටී ඇත.

අනාගතයේ දී පෘථිවියට ආසන්නයේ සිදුවන අභ්‍යවකාශ කටයුතු වාණිජ්‍ය අංශය විසින් නියමුවනු ඇතැ යි ද NASA පැවසීය.

අභ්‍යවකාශ ඒජන්සි පහක හවුල් ව්‍යාපෘතියක් වූ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 1998 වසරේ සිටම කක්ෂගතව පැවැති අතර, කාර්යයමණ්ඩලයක් ද 2000 වසරේ සිට අඛණ්ඩව ඒ තුළ විසුවේ ය. පර්යේෂණයන් 3000කට වැඩි සංඛ්‍යාවක පරීක්ෂණ කටයුතු එහි ක්ෂුද්‍රගුරුත්ව විද්‍යාගාරයේ දී සිදුව ඇත.

කෙසේ නමුත්, එය ක්‍රියා කරවීමට අනුමත වී ඇත්තේ 2024 වසර දක්වා පමණි. ක්‍රියා කාලය දීර්ඝ කරන්නේ නම් එය සියලු කොටස්කරුවන්ගේ එකඟත්වය මත සිදුවිය යුතු වේ.

NASA පැවසුවේ, ISS විශ්‍රාම ගැන්වීමට වන සැලැස්ම, පෘථිවියේ පහළ කක්ෂයේ – එනම්, අභ්‍යවකාශයේ පෘථිවියට ආසන්නතම ප්‍රදේශයේ – ක්‍රියාකාරකම් වාණිජ්‍ය අංශයට පැවරීමේ සංක්‍රාන්ති අවස්ථාව සලකුණු කරනබව යි.

“NASA ආයතනයේ සහාය ඇතිව, පෘථිවි පහළ කක්ෂයේ වාණිජමය ගමනාන්තයන් සංවර්ධනය කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍යමය හැකියාව පුද්ගලික අංශයට තියෙනවා,” NASA මූලස්ථානයේ වාණිජමය අභ්‍යවකාශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ෆිල් මැක්ඇලිස්ටර් ප්‍රකාශ කළේ ය.

2020 දී, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වාසයට සුදුසු එක් මොඩියුලයක් හෝ සවිකිරීම සඳහා NASA ආයතනය විසින් එක්සත් ජනපදයේ ටෙක්සස් ප්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ සමාගමක් වන ඇක්සියම් ස්පේස් වෙත කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කළේ ය. NASA තවත් සමාගම් තුනකට ද අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් හා පෘථිවි කක්ෂයේ පිහිටුවිය හැකි වෙනත් වාණිජමය ගමනාන්තයන් සඳහා පිරිසැලසුම් නිර්මාණය කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ඇත.

ISS විශ්‍රාම ගැන්වීමට ප්‍රථම මෙම නව ව්‍යාපෘතීන් අවම වශයෙන් අර්ධව හෝ ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

NASA ආයතනය පැවසුවේ, “පෘථිවි පහළ කක්ෂයේ ඇමරිකාව ප්‍රමුඛ දැවැන්ත වාණිජ ආර්ථිකයක්” නිර්මාණය කිරීමට ඊට අවශ්‍යබව යි.

A SpaceX cargo spacecraft docking with the ISS
ඡායාරූප ශීර්ෂ වැකිය,ඊලොන් මස්ක්ගේ ස්පේස්එක්ස් අභ්‍යවකාශ යානය ISS වෙත කාර්යයමණ්ඩලය සහ භාණ්ඩ ප්‍රවාහනය කරයි

වාණිජ්‍ය අංශය දැනටත් එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහනේ වැදගත් අංගයක් වන අතර, ඊට සම්බන්ධ පුද්ගලයින සහ බඩුතොගයන් අභ්‍යාවකාශයට ප්‍රවාහනය කිරීමේ වගකීම දරන්නේ පුද්ගලික සමාගම් වේ. රුසියාවේ සෝයුස් සහ ප්‍රෝග්‍රෙස් යන අභ්‍යවකාශ යානාවන් ද මෙහිදී භාවිතා කෙරේ.

NASA ආයතනයට අනුව, පෘථිවියේ පහළ කක්ෂයේ ක්‍රියාකාරකම් පුද්ගලික අංශයට මාරු කිරීම මඟින් ඇ. ඩොලර් බිලියන 1.3ක් ඉතිරිකරගත හැකි අතර, එම මුදල් ගැඹුරු අභ්‍යවකාශය ගවේශනය සඳහා යෙදවිය හැකි වේ.

මේ මාරුවෙන් පසු, ISS නඩත්තුව හා ක්‍රියාකාරීව පවත්වාගෙන යෑම වෙනුවට තමාට අවශ්‍ය කරන සේවාවන් සඳහා පමණක් මුදල් වැය කිරීමට NASA ආයතනයට හැකිවන නිසා මෙවැනි ඉතිරියක් බලාපොරොත්තු වෙයි.

තමා ISSහි අයවැය වාර්ෂිකව විශ්ලේෂණයකර ඇතැයි පවසන NASA ආයතනය, එහි ඉතුරුම් ඇස්තමේන්තු තවදුරටත් පැහැදිලි කරනබවත් පැවසීය.

මෙම සංක්‍රාන්ති වාර්තාව NASA විසින් පසුගිය සතියේ දී ප්‍රකාශයට පත්වූයේ, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් 2030 වසර දක්වා දීර්ඝ කිරීමට තමා කැපව සිටිනබව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ප්‍රකාශ කිරීමෙන් පසුව ය.

කෙසේ වෙතත්, කාලය දීර්ඝ කිරීම සඳහා රුසියාව ඇතුළු ජාත්‍යන්තර කොටස්කරුවන්ගේ සහාය අවශ්‍යවන අතර, දැනට එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් ISS සඳහා අරමුදල් අනුමත කරනු ලැබ ඇත්තේ 2024 වසර දක්වා පමණි.

2021 දෙසැම්බරයේ දී ඉන්ටර්ෆෙක්ස් නම් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී, රුසියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානී දිමිත්‍රි රොගොසින් 2024 වසරෙන් ඔබ්බට ද NASA සමග කටයුතු කිරීමට කැමැත්තක් අඟවා සිටියේ ය.

“ක්‍රියාව, වචනවලට වඩා ශබ්ද යි,” ඔහු පැවසුවේ ය. “මේ අවුරුද්දේ අපි ISS එකට අලුත් විද්‍යාගාර මොඩියුලයක් යැව්වා. ඒක අඩුම තරමින් අවුරුදු 10ක්වත් හොඳට වැඩ කරන එකක්.”

එක්සත් ජනපදය රුසියාවට පනවා ඇති සම්බාධක රුසියානු අභ්‍යවකාශ කර්මාන්තයට හානිකරබව ද රොස්කොස්මොස්හි ප්‍රධානියා චෝදනාකර සිටියේ ය. එක්සත් ජනපදය සම්බාධක ඉවත් නොකළහොත් රුසියාව ISS ව්‍යාපෘතියෙන් ඉවත්ව යනබව ඔහු මින්පෙර අවස්ථාවක ප්‍රකාශකර ඇත.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළහොත් එය මත තව තවත් සම්බාධක පැනවෙනු ඇතිබවට එක්සත් ජනපදය හා ඔවුන්ගේ මිත්‍ර බටහිර රාජ්‍යයන් තරවටුකර ඇති නමුත්, එම සම්බාධකයන් කුමන ස්වභාවයේදැ යි තවමත් පැහැදිලි නැත.

ව්‍යුහාත්මක ප්‍රයාසය නිසාවෙන් 2030 වසරෙන් ඔබ්බට ක්‍රියා කිරීමට ISSට හැකියාවක් නැතැ යි රුසියාව මින් පෙර පවසා ඇති අතර, යල්පැන ගිය උපකරණ භාවිතයෙන් “නැවත පිළිසකර කළ නොහැකි” බිඳවැටුම් ඇතිවිය හැකිබවට අනතුරු ඇඟවීය.

BBC සිංහල වෙබ් පිටුවෙන් උපුටා පළකරන ලදී.

POPULAR

Recent articles