“ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සිදුකළ ප්‍රකාශය අසත්‍යයි” – ලෝක බැංකුව

ඉදිරි මාස කිහිපයේදී ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක ලබාදෙන බවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව ලෝක බැංකුව සඳහන් කරනවා. ලංකාවට තම මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුමක් සැලසුම් කරන්නේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කිරීමෙන් පසුව බවයි ඔවුන් කියන්නේ.

මේ බව පැහැදිලි කරමින් රට තුළ පවතින තත්වයට යටතේ නිශ්චිත මුදල් ප්‍රමාණයක් සැපයීම පිළිබඳව කිසිඳු එකඟතාවයක් නැතැයි ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆරීස් එච්. හදාද් තම ට්විටර් පණිවිඩයකින් පවසා තිබෙනවා. ඔහු මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂවරයා යි.

ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන බවත් ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල් වර්ධනයක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ කටයුතු කරන බවයි ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යක්ෂවරයා සිය නිවේදනයේ සඳහන් කරන්නේ.

මෙරට විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය සඳහන් කළ බවයි.

POPULAR

Recent articles