“ඉන්දියාවට ලියුම් යවන්න අවශ්‍ය නෑ. අපේ ප්‍රශ්න රට තුළ විසඳගන්න පුළුවන්” – විදේශ ඇමති

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ආසන්න වෙමින් තිබියදී දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. බලය විමධ්‍යගත කරගැනීම වෙනුවෙන් ඉන්දීය මැදිහත්වීමක් ඉල්ලා TNA ප්‍රමුඛ දෙමළ පක්ෂ හයක් විසින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර සති දෙකක් ඇතුළතයි මෙම තීරණය ප්‍රකාශවී ඇත්තේ.

“ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න රට තුළ විසඳා ගන්න පුළුවන්. ඒකට හොඳම මාර්ගය ජනාධිපති, අගමැති සමඟ හා පාර්ලිමේන්තුව තුළ නිරාකරණය කර ගැනීම. දෙමළ ජාතික සන්ධානයට ජනාධිපති අතර සාකච්ජා හමුවක් ඉතා ඉක්මනින් පවත්වන්න අපි අපේක්‍ෂා කරනවා”යි විදේශ ඇමැති ජි. එල්. පීරිස් පසුගිය 30 දින යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රදේශයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙස පවසා තිබුණා. විදේශ ඇමතිවරයා යාපනයේදී කියා සිටියේ නව ව්‍යවස්ථාව සම්පාදනයට පෙර සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ජා කරන බවයි. එහෙත් මීට පෙර දෙමළ ජාතික සන්ධානය සමග මෙයින් මාස හතකට ඉහතදී ජනාධිපතිවරයා විසින් යොදාගෙන තිබුණු සාකච්ඡාවක් කිසිදු හේතු දැක්වීමකින් තොරව අවලංගු කළ බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජාවක් ඉදිරියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද සහතික කොට තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ පසුගිය සතියේ දී තමන් හමුවූ විදේශ ඇමැති පීරිස් තමන්ට මේ බව දැනුම් දුන් බවයි.

“දෙමළ ජාතික සන්ධානයත් එක්ක කතා කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කැමැත්ත පළ කරා කියා විදේශ ඇමැති පීරිස් කිව්වා. දින වකවානු ඉක්මනින් දන්වයි. අපිත් එක්ක කතා කරන්න ජනාධිපති පහුගිය ජුනි මාසේ දින නියම කරන් හිටියත් අන්තිම මොහොතේ එය දැම්මා. දැන් ආයෙත් TNA එක්ක කතා කරන්න ආණ්ඩුව ලක ලැහැස්තිවෙනවා” යැයි TNA මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් සඳහන් කරනවා.

විදේශ අමාත්‍යවරයා මෙන්ම උතුරේ ජංගම සේවා පවත්වාගෙන යමින් දෙමළ මව්වරුන්ගේ විරෝධයට ලක්ව සිටින අධිකරණ අමාත්‍ය අලි සබ්රි ද සමඟ TNA මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් යාපනයේදී උදෑසන ආහාර වේලක් සඳහා ද එක් වී තිබෙනවා.

POPULAR

Recent articles