කඩදාසි මිල 150% කින් ඉහළට

ඩොලර් හිඟය නිසා කඩදාසි මෙන්ම වෙනත් ආනයනික ද්‍රව්‍ය ආනයනය අවම වීමෙන් මෙරට මුද්‍රණ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙනවා. මේ හේතුවෙන් පොත් මුද්‍රණයද සැලකිය යුතු ලෙස නැවතී තිබෙන බවයි කියන්නේ.

පොත් මුද්‍රණයට අවශ්‍ය කෙරෙන මුද්‍රණ කඩදාසි මිල සියයට 150 කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර පවසනවා.

පොත් ප්‍රකාශකයෙක් මෙන්ම පොත් ප්‍රදර්ශන සංවිධායකවරයෙක්ද වන ප්‍රියන්ත රණසිංහ පවසන්නේ මුද්‍රණ කර්මාන්තයේ ඉදිරි පැවැත්ම මේ තත්වය යටතේ විශ්වාස කළ නොහැකි අර්බුදයකට ලක්වන බවයි. තවමත් නිශ්චිතව ගණන් බලා නොමැති මෙම කර්මාන්තයෙන් යැපෙන ඍජු හා වක්‍ර පුද්ගලයන හා පවුල් සංඛ්‍යාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්වීමේ අවදානමක් ඇති බවයි ඔහු කියන්නේ.

“මුද්‍රණ කර්මාන්තය කියන්නේ කොළඹ, මරදාන ප්‍රදේශයේ පොත් විකුණන එක විතරක් නෙමෙයි. කුඩා අත්පත්‍රිකා, අවමංගල දැන්වීම් මුද්‍රණයේ ඉඳන් දැවැන්ත වෙළඳ පොළක් දක්වා මේ කර්මාන්තය පැතිරිලා තියෙනවා. මුද්‍රණ කඩදාසි හිඟවීම විතරයි බොහෝ දෙනෙකුට පේන්නේ. ඒ අතරටම එකතු වෙනවා මුද්‍රණ තීන්ත හිඟවීම. ඒ වගේම මුද්‍රණ කටයුතු වලට අදාළ ලොකු කුඩා ද්‍රව්‍ය සහ උපකරණ රාශියක් අපිට ලැබෙන්නේ ආනයනයෙන්. ඩොලර් හිඟය නිසා ඇතිවී තියෙන ආනයන බාධා නිසා මේ කිසිවක් කලින් තරම් ලැබෙන්නේ නැහැ.

පාසල් පෙළ පොත් මුද්‍රණය, අතිරේක කියවීම පොත් මුද්‍රණය, ෆොටෝ කොපියක් ගහන A 4 කඩදාසියේ පටන් මේ අවුල නිසා අතිශය සීමිත වෙන ලැයිස්තුව හුඟක් දිගයි. බලධාරීන් මේගැන කල්පනා කරලා තියෙන බවක් අපිට නම් පේන්නේ නැහැ”යි ප්‍රියන්ත රණසිංහ මහතා පවසනවා.

POPULAR

Recent articles