රටට සහ ජනතාවට සෙත් පතා දහසක් භික්ෂූන් BMICH හි පිරිත් සජ්ජායනය කරයි

රටට සහ ජනතාවට සෙත් පතා බව පවසන ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන ජය පිරිත් පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණා. මේ ජය පිරිත් සජ්ජායනය ට මහනායක, අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩමකළ භික්ෂූන් වහන්සේ දහසක් සහභාගි වූ බවයි කියන්නේ.

මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ආබාධිත සහිත රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාව ට ආශිර්වාද කිරීම මෙම පිරිත් සජ්ජායනයේ තවත් අරමුණක් බව ජනාධිපති කාර්යාලය පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් සධාතුක කරඬුව සහ පිරුවානා පොත් වහන්සේ වඩම කර තිබෙනවා. ජනාධිපතිවරයා සධාතුක කරඬුව පිරිත් මණ්ඩපයෙහි තැන්පත් කර ගිලන් පස සහ අධිෂ්ඨාන පූජාව ඉටු කිරීමෙන් පසු මහා සංඝරත්නයට පිරිත සඳහා ආරාධනා කළා.

පිරිත් දේශනා අවසානයේ අද (27) උදෑසන පැවති හීල දානමය පිංකමට ද ජනාධිපතිවරයා සහ පවුලේ උදවිය සහභාගී වී තියෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු, ආරක්ෂක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිංකම වෙනුවෙන් දායකත්වය ලබා දී තිබූ බවයි කියන්නේ.

POPULAR

Recent articles