“විදුලිය උත්පාදනයට ඉන්ධන ඇත්තේ අදට පමණයි” – ලංකා විදුලි බල මණ්ඩලය

විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද (26) දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි සඳහන් කරන්නේ කැලණිතිස්ස බලාගාර සංකීරණයට විදුලිය උත්පාදනය සඳහා ලබාදුන් ඩීසල් තොග අදින් අවසන් වන බවයි.

එමෙන්ම සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේද අද (26) දිනයට පමණක් බව ඔහු ප්‍රකාශ කරනවා.

මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර ඇති බව විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ඇණවුම් කළ ඩීසල් හා දැවි තෙල් අද (26) දිනයේදී නොලැබුණහොත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවන බවයි.

කෙසේ වෙවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලිය කැපීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කළ ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු ආචාර්ය රොහාන්ත අබේසේකර අද (26) සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

POPULAR

Recent articles