මේ කාලේ දරුවන් අපයෝජනය සම්බන්ධව විශාල සංවාදයක් තියෙනවා – ජනමාධ්‍ය ඇමති

මේ කාලේ දරුවන් අපයෝජනය සම්බන්ධව විශාල සංවාදයක් තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් සංවිධාන කළ ළමා කුසලතා ඇගයීමේ වැඩසටහනක් අද (22) ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තැබූ සමයේ නිවසට වී සිටි ළමුන් ධෛර්යමත් කිරීමේ අරමුණින් චිත්‍ර, ඡායාරූප, කථනය සහ නවනිර්මාණ අංශ වලින් සමන්විතව ළමා තරගාවලිය සංවිධානය කර තිබූ අතර විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන්ට ද එය විවෘත වුණා.

“දරුවන් විශ්වාස කරන්න. ඔබේ දුවට පුතාට අසීමිත ශක්තියක් තියෙනවා. ඔවුන් ධෛර්ය සම්පන්න දරුවන්, ඔවුන්ට කල නොහැක්කක් නොමැත කියල හැම අම්ම තාත්ත කෙනකුම විශ්වාස කරන්න. මේ කාලයේ දරුවන් අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් විශාල සංවාදයක් තියෙනවා. අපයෝජනයක් සිදුවන්නේ ලිංගිකව විතරක් නෙවෙයි. එය ශාරීරිකව හා මානසිකවත් සිදුවෙනවා. වාර්තාවන අන්දමට ශාරීරිකව හා මානසිකව වැඩිම අපයෝජන සංඛ්‍යාවක් සිදුවන්නේ නිවස ඇතුලෙදි. ඒ නිසා විශ්වාස කිරීම තුල දරුවට ලැබෙන ශක්තිය වෙන කිසිවකින් ලැබෙන්නෙ නැහැ.”ලෙස මෙහිදී ඩලස් අලහප්පෙරුම මහතා තම අදහස් දැක්වූවා.

දිළිඳු කම, අන්තවාදය, ත්‍රස්තවාදය ඇතිවීමට ප්‍රධානතම හේතුව නිසි අධ්‍යාපනයක් නොලැබීම බවත් 21 වන ශතවර්ෂයට ගැලපෙන අයුරින් අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කල යුතු කාලය පැමිණි බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ ලෙස භේද නොවී ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස පාර්ලිමේන්තුවේ සියලුම දෙනා එකතුවීමේ අවශ්‍යතාවයත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

POPULAR

Recent articles