ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

ජනවාරි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,500ක් පමණ වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමංකා පනිලහෙට්ටි පැවසුවේ එම රෝගීන්ගෙන් සියයට 60ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි. ඩෙංගු රෝග ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරමින් තිබෙන බවයි කියන්නේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මේ ආකාරයෙන් ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි. වාර්තාවන්ට අනුව සැප්තැම්බර් මාසය තුළ 1,370ක්, ඔක්තෝබර් මාසය තුළ 2,979ක්, නොවැම්බර් මාසය තුළ 4,561ක් සහ දෙසැම්බර් මාසය තුළ 8,096ක් වශයෙන් රෝගීන් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට මෙම කාලවකවානුව තුළ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

“ජනවාරි මාසයේ මේ දක්වා රෝගීන් 5,500ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මෙයින් 60%ක් විතර වාර්තාවෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන්. ඊට අමතරව ගාල්ලේ මහනගර සභා සීමාව හා කුරුණෑගල මහනගර සභා සීමාවෙන් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මහජනතාව තමන්ගේ වටපිටාව හා නිවස පිරිසිදු කරගෙන මදුරුවන් බෝවන ස්ථානයන් ඉවත් කිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත්. නිරන්තරයෙන්ම සෝදිසි කිරීම් අවශ්‍යයි. ඩෙංගු සහ කොරෝනා යන රෝග දෙකේම මූලික රෝග ලක්ෂණ එකහා සමානයි. ඩෙංගු රෝගය වැලඳුනාම බොහෝවිට උණ, හිසරදය, ඇස් යට වේදනවා, ඔක්කාරය, වමනය වගේ රෝග ලක්ෂණ ඇතිවෙනවා. කොරෝනා රෝගයේ දී ශ්වසන රෝග ලක්ෂණ තමයි බහුලව ඇති වෙන්නේ. උගුරේ වේදනාව සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝග විනිශ්චය සහ අවශ්‍ය උපදෙස් සඳහා වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්න කියලයි. රෝහල්ගත වෙන්න අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ” යි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමංකා පනිලහෙට්ටි පවසනවා.

POPULAR

Recent articles