බන්දුල ගුණවර්ධන ලබාදුන් වැරදි තොරතුරු නිසා මටත් වැරදුණා – උදය ගම්මන්පිල

හෝමාගම ඉදිකිරීමට යෝජිත නව ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් මුදල් ලබා දෙන බවට තමන් කළ ප්‍රකාශය වැරදි සහගත බවත් ඒ සඳහා සමාව අයදින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා .

ඉදි කිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 30 ක මුදලක් ප්‍රදානය කරන බව හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

එහෙත් , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලියේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි රාජ්ශේකර් රාඕ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව තුළ එවැනි ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා මුදල් ප්‍රදානය කිරීමක් හෝ එකඟතාවයක් ඇති නොවූ බවයි. එසේ හෙයින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලබාදුන් වැරදි තොරතුරක් මත තමාද එවැනි අසත්‍ය ප්‍රකාශයක් කළ බව උදය ගම්මන්පිල මහතා පිළිගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මෙන්ම දේශීය තරග පැවැත්වීම අවම මට්ටමක පවතින ශ්‍රී ලංකාවට, මෙවැනි විශාල ක්‍රීඩා පිටියක් හදිසියේ ඉදිකිරිම අවශ්‍යද යන්න හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා මීට දින කිහිපයකට ඉහතදී විමසා සිටි අතර එම ප්‍රකාශය සඳහා විශාල පිරිසක් ද සහය ඵල කර සිටියා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතාද , නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයට තමන් විරුද්ධ වන බව කියා සිටි අතර, අයි සී සී තීරක සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක රොෂාන් මහානාම මහතා සඳහන් කළේ ලංකාවට ප්‍රමානවත් තරම් ක්‍රිකට් ක්‍රීඩාංගන තිබෙන බවත් ඒවා වසර පුරාම වසා දමා තිබෙන බැවින් නව ක්‍රීඩාපිටි අවශ්‍ය නොවන බවයි.

මේ පිළිබඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් කිසිදු වැරදි තොරතුරක් ලබා දී නැති බවයි.
මාධ්‍යවේදියකු විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමකදී, බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, උදය ගම්මන්පිල මහතා එවැනි සටහනක් තබා ඇත්නම් එය පිලිගන්නා ලෙසයි.

POPULAR

Recent articles