අවුරුදු 60 විශ්‍රාම සීමාවෙන් වෘත්තීන් කිහිපයක් ඉවත්කෙරේ

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළ ද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුනේ සඳහන් කරන්නේ ඒ අනුව වෛද්‍ය, හෙද හා ඉන්ජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයක් එම සීමාවෙන් ඉවත් කරන බවයි.

එම වෘත්තීන්හී නියැලෙන්නන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට හැකියාව ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයට සංශෝධන ගෙන එන බව ලේකම්වරයා සඳහන් කරනවා.

ඔහු සඳහන් කරන්නේ සෙසු පිරිස එළඹෙන දෙසැම්බර් මස 31 වනදා විශ්‍රාම ගැන්වීමට පියවර ගන්නා බවයි.

ඊට අදාළ චක්‍රලේඛය ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටිනවා.

එමෙන්ම ඔහු ප්‍රකාශ කරන්නේ ඒ අනුව විසි දහසකට අධික පිරිසක් මේ වසර අවසානයේදී විශ්‍රම ගැන්වීමට නියමිත බවයි.

POPULAR

Recent articles