බංග්ලාදේශයේ ප්‍රකාශයට මහේලගෙන් ප්‍රතිචාර

”ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තමන්ගේ ක්ලාස් එක පෙන්වීමට හා පිතිකරුවන් හට පිටියේ සිටින්නේ කවුදැයි පෙන්වීමට කාලය එළඹ ඇති බව පෙනේ” යැයි ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන Twitter සටහනක් තබමින් කියා සිටිනවා.

ඔහු මේ බව ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ පන්දු යවන්නන් නොමැති බවට බංග්ලාදේශ පුහුණුකරු කලීඩ් මහමුද් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි.

කෙසේ වුවද බංග්ලාදේශ පුහුණුකරු මේ බව කියා සිටියේ ඇෆ්ගනිස්ථානයට සාපේක්ෂව බංගලාදේශයේ සිටින්නේ ලෝක මට්ටමේ පන්දු යවන්නන් දෙදෙනෙකු පමණක් බවට ශ්‍රී ලංකා නායක දසුන් ශානක කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනුයි.

“දසුන් ශානක ඇයි එහෙම දෙයක් කිව්වේ කියලා මම දන්නේ නැහැ. ශකීබ් හා මුස්තාෆිසුර් හැර බංග්ලාදේශයට [ලෝක මට්ටමේ] පන්දු යවන්නන් නොමැති බව ඔහු පැවසූ බව මට ආරංචි වුණා. ඇත්ත වශයෙන්ම, මම ශ්‍රී ලංකා පිලේ එකදු [ලෝක මට්ටමේ] පන්දු යවන්නෙකුවත් දකින්නේ නෑ” යයි බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු කියා සිටිනවා.

“අවම වශයෙන් අපට [ලෝක මට්ටමේ] පන්දු යවන්නන් දෙන්නෙක්වත් ඉන්නවා. ඔවුන්ගේ පැත්තේ ෂකීබ් සහ මුස්තාෆිසුර්ගේ තත්වයෙන් ඉන්න කිසිවෙක් නෑ” ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

ඔහු මේ බව පැවසුවේ ඇෆ්ගනිස්තාන තරගයෙන් පසු දසුන් ශානක කී දෙයට පිළිතුරු දෙමිනුයි.

“ඇෆ්ගනිස්ථානයට ලෝක මට්ටමේ පන්දු යැවීමේ බලකායක් ඉන්නවා. අපි දන්නවා Fizz [Mustafizur Rahman] හොඳ පන්දු යවන්නෙක්. ෂකීබ් [අල් හසන්] ලෝක මට්ටමේ පන්දු යවන්නෙක්. නමුත් ඔවුන් හැරුණු විට ලෝක මට්ටමේ පන්දු යවන්නෙක් නැහැ. ඉතින් අපි ඇෆ්ගනිස්තානය සමඟ සංසන්දනය කළහොත්, බංග්ලාදේශය පහසු ප්‍රතිවාදියෙක්,” ඇෆ්ගනිස්ථානයට එරෙහි තරඟයේ පරාජයෙන් පසු ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියා සිටියා.

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරඟය අද (01) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.

POPULAR

Recent articles