රුවන්පුර අධිවේගය අතරමඟ

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇණහිටීමෙන් ඒ සඳහා ඉඩම් පවරා ගත් බොහෝ පිරිසක් දැඩි පීඩාවට පත්ව ඇති බවට වාර්තා වනවා.

රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් අවතැන්වූවන්ගේ සංගමයේ කාරක සභික කුමේෂ් බිම්සර අල්විස් සඳහන් කරන්නේ අධිවේගී මාර්ගයට පවරා ගන්නා බව පැවසූ තම ඉඩම් සඳහා මෙතෙක් වන්දි ලබා දී ‍නොමැති බවයි.

ඇතැම් පුද්ගලයින් මේ වනවිට කුලී නිවාසවල පදිංචි වී සිටින බව ද ‍ඔහු සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය මැයි මාසයෙන් පසු රුවන්පුර අධිවේගි මාර්ග‍යේ ඉදිකිරීම් නවතා දමා ඇති බවයි.

මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ රුවන්පුර අධිවේගි මාර්ග ව්‍යාපෘති‍යේ අධ්‍යක්ෂිකාවගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ අධිවේගී මාර්ගයට පවරා ගත් ඉඩම් සඳහා වන්දි ලබාදීමේ ගැටලුවක් මතුව ඇති බවයි.

ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය බැංකුවකින් ලබා ගත් රුපියල් බිලියන 12.9 ණය මුදලේ වාරික මුදා නොහැරීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

ඒ අනුව කොන්ත්‍රාත් සමාගම ඉදිකිරිම්වලින් ඉවත්ව ඇතැයි ඇය ප්‍රකාශ කරනවා.

ව්‍යාපෘති‍යේ අධ්‍යක්ෂවරිය පවසන්නේ පවරාගත් ඉඩම් සඳහා වන්දි ගෙවීමට රුපියල් බිලියන ‍2.6 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.

එය ලැබුණු වහාම වන්දි ලබාදීමට පියවර ගන්නා බව රුවන්පුර අධිවේගි මාර්ග ව්‍යාපෘති‍යේ අධ්‍යක්ෂ එච්. බී. එම්. ප්‍රේමකාන්ති මහත්මිය වැඩිදුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles