ගොවීන්ට තෙල් සපයන්න අලුත් නිලධාරියෙක්

වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරියෙකු පත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අරමුණෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරියෙක් මෙි සඳහා පත්කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර වෙත උපදෙස් දී තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ මෙවර යල කන්නයේදී වී අස්වනු නෙලීම සඳහා ප්‍රමාණවත් හා විධිමත් පරිදි ඉන්ධන නොලැබෙන බවට ගොවීන්ගෙන් ලැබුණ පැමිණිලි සළකමිනුයි.

දැනට ගණන් බලා ඇති ආකාරයට මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම ස‍ඳහා ඉන්ධන බවුසර් 3 020 ක ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙවර යල කන්නයේ වගා කර ඇති හෙක්ටයාර් 512,000 ක වී අස්වනු සැප්තැම්බර් 30 වනවිට නෙලා අවසන් වීමට නියමිත බැවින් මෙම ඉන්ධන ප්‍රමාණය එම දිනය වන විට සපයා අවසන් කළ යුතු බවයි.

POPULAR

Recent articles