විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට සාමාජිකයන් පත්කරයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා. ඔවුන් වෙත එම වගකීම මේ වනවිටත් භාරදී තිබෙන බවයි අමාත්‍යවරයා කියන්නේ. අමාත්‍ය කංචන විජේසේකර කියන ආකාරයට මෙම කමිටුවේ සාමාජිකයින්ව පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මාසයක් තුළ විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහාය සමඟ ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කළ පුද්ගලයින් අතර ආන්දෝලනයට තුඩුදුන් ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු ද ඇතුළත් වෙනවා.

එම කමිටු සාමාජිකයන් මෙසේයි, මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු, ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා, ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සහ වරාය නගර ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසුරිය, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසමේ හිටපු නීති උපදේශක, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නීති නිලධාරී නීතිඥ හර්ෂ ප්‍රනාන්දු සහ විදුලිබල අමාත්‍යංශයේ අධ්‍යක්ෂ චන්දන විජේසිංහ.

එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු සහ ආචාර්ය සුසන්ත පෙරේරා යන දෙදෙනාම ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ යුගදනවි සම්බන්ධව අත්සන් කළ කළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් පිළිවෙලින් පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබූ දෙදෙනාවීම විශේෂයක්.

POPULAR

Recent articles