අවම බස් ගාස්තුව 34/= යි

සාමාන්‍ය බස් ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට 11.14%කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව රුපියල් 38 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් තිස් හතරක් දක්වා රුපියල් 04කින් අඩුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා සඳහන් කරන්නේ ඩීසල් මිල අඩු අඩුකිරීම හා ඉකුත් වසරේ නොවැම්බර් 20 වනදා වැඩි කළ 20%ක බස් ගාස්තු වෙන් 10%ක ප්‍රමාණයක බස් ගාස්තුවක් අඩු කිරීම මෙම ගාස්තු අඩු කිරීමට හේතු වූ බවයි.

මෙම අඩුවීම ලංගම හා පෞද්ගලික සාමාන්‍යය බසරථ සියල්ල සඳහාම ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කරනවා.

ඒ අනුව දිවයින පුරා ධාවනය වන ලංගම හා පෞද්ගලික සාමාන්‍ය සේවා බස් රථ, අන්තර් පළාත් බස්රථ, පළාත් බස්රථ, සහ ගම්බද ප්‍රදේශවල ධාවනය වන ගැමි සැරිය සහපාසල් දරුවන්ගේ සිසු සැරිය ආදී බස්රථ සේවාවල මෙම ගාස්තු අඩු වන බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම අඩුවීම අවස්ථා තුන්සිය පනහ සඳහාම ක්‍රියාත්මක වන බවත් ඔහු කියා සිටිනවා.

කෙසේ වුවද අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස්රථවල ගාස්තු වල වෙනසක් සිදු නොවන බවත් ඔහු සඳහන් කරනවා.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරුන්ට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි ද ඔහු කියා සිටිනවා.

එසේම සෑම බස් රථයකම මෙම මිල අඩුකිරීම ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දී ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

මෙම බස් ගාස්තු අඩු කිරීම ලබා නොදුනහොත් මේ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1955 ට පැමිණිලි කරන ලෙසත් මගී ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ජංගම පරීක්ෂක මහත්වරුන් ශ්‍රී ලංකාවම ආවරණය පරිදි යොදවා ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles