සල්ලි මහින්දගෙලු, අරන් තියෙන්නේ උදිත්ලු

තම බැංකු ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදල් ප‍්‍රමාණයක් වංචා කළ තමාගේ පෞද්ගලික සහායකයා කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි බරපතළ වංචාවක් යැයි ද එවැනි අය සමාජයටම පවා පිළිලයක් බවද එම ගිණුම හිමි රජයේ ප‍්‍රබල දේශපාලනඥයා කියා සිටින බව මාධ්‍ය වාර්තා කරනවා. තමාගේ බැංකු ගිණුමෙන් වංචනිකව මුදල් ලබාගත් පළමු අවස්ථාව මෙන්ම පළමු පුද්ගලයාද මොහු නොවන බව රජයේ ප‍්‍රබල දේශපාලනඥයා පවසා තිබෙනවා. මීට පෙර අවස්ථාවකදී තවත් පුද්ගලයකු මෙයාකාරයටම තමන්ගෙන් මුදල් වංචා කළ බවත් එම ප‍්‍රබල දේශපාලනඥයා සඳහන් කළ බවයි කියන්නේ.

මේ අතර අතම සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ‘රජයේ ප‍්‍රබල දේශපාලනඥයා’ අගමැති මහින්ද රාජපක්ෂ බවයි. අදාළ සැකකාර ‘පෞද්ගලික සහායකයා’ උදිත් ලොකුබණ්ඩාර බවයි එම සමාජ මාධ්‍ය පවසා ඇත්තේ.

“මොහු මගේ විශ්වාසය දිනාගෙන හිටපු කෙනෙක්. සමීපව ඇසුරු කරමින් මගේ පෞද්ගලික සහායකයෙක් ලෙස කටයුතු කළා. මොහු මගේ ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචනිකව අරන්. එය සමාව ලබාදිය නොහැකි තරමේ බරපතළ වංචාවක්. මගේ ගිණුමෙන් මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නෙවෙයි. මීට පෙරත් වෙනත් අයකු ඔය වගේ වැඩක් කළා.

මේ වගේ අය විශ්වාසයට ගතයුතු නෑ. මේ වගේ අයට ඕනෑම පාවාදීමක් කළ හැකියි. ඕනෑම අපරාධයක් කළ හැකියි. මේ වගේ වංචා දූෂණ අක‍්‍රමිකතා සිදු කරන අයට සමාව දිය යුතු නෑ. මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ පියාගේ කීර්ති නාමයත් නැති කළා. මුදල්වලට ආත්මයම පාවා දෙන මේ වගේ පුද්ගලයන් මුළු සමාජයටම පිළිලයක් යැයි” අදාළ රජයේ ප‍්‍රබල දේශපාලනඥයා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

“අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කලකට ඉහත කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාරට එරෙහි මූල්‍ය වංචා චෝදනාවක් ගැන පරීක්ෂණ සිදු කරන බව වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු වැටුප් බැරවන රාජ්‍ය බැංකුවක බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී මුදලක් කාලයක් තිස්සේ කිසිවෙකු විසින් වරින්වර රැගෙන තිබෙන බව හෙළිව ඇත. මහින්ද රාජපක්ෂ මතක ඇති කාලයක ඒටීඑම් යන්ත්‍රයකින් මුදල් ලබාගෙන නැති අතර මෙසේ රහස් පදය හා කාඩ්පත උපයෝගයෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇත්තේ වෙනත් කිසිවෙකු නොව මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කලකට ඉහත කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර බව හෙළිව ඇත” යනුවෙන් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණා.

“මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය අරඹන ලද” එහිම සඳහන් වෙනවා.

POPULAR

Recent articles