ආර්ථික අර්බුදය විසඳා ගැනීමට දකුණු කොරියානු රජයේ පූර්ණ සහාය ලංකාවට

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබා දෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් මෙරට ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (16) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී යි.

එමෙන්ම පසුගිය දා පැවති මැතිවරණයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ යුන් සුක් යෙයොල් හා ඔහුගේ පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට ජනාධිපතිතුමා සුභාශිංසන එක් කර තිබෙන අතර දෙරට අතර 45 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිතුමා දකුණු කොරියානු රජය නිරන්තරයෙන් මෙරටට ලබාදෙන සහාය අගය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර පවතින තත්ත්වයෙන් මිදීමට දකුණු කොරියානු රජයේ සහාය තවදුරටත් අපේක්ෂා කරන බව පවසා තිබෙනවා.

එමෙන්ම මෙරට තරුණයින්ට සිය රටින් ලබා දෙන රැකියා අවස්ථා සංඛ්‍යාව වැඩි කර ගැනීම හා ව්‍යවසායකයින්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයේජනය සඳහා ඇරයුම් කරන ලෙස ජනාධිපතිතුමා එහිදී තානාපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

POPULAR

Recent articles