බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා හා තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද (12) මානව හිමිකම් කොමිසමට කැඳවා තිබෙනවා.

එම කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කළේ, අද (12) පස්වරුවේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, ඔවුන්ට දැනුම්දී ඇති බවයි.

ඔවුන් කැඳවා ඇත්තේ වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගිය 09 වනදා විරෝධතාකරුවන්ට පහරදීමට යොදාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීමටයි.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට හෙට (13) දිනයේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබෙනවා.

එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ පවසන්නේ ඊයේ (11) මානව හිමිකම් කොමිසම හමුවේ පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා ඉදිරිපත් කළ කරුණු මත පදනම්ව මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම පසුගිය දිනවල රට තුළ සිදුවූ ගැටුම්කාරි තත්ත්වයන් සම්බන්ධ‍යෙන් බුද්ධි අංශ ක්‍රියාත්මකවීමේ අඩුපාඩුවක් පැවති බවට සිය කොමිසම නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඊයේ (11) ප්‍රකාශ කරනු ලැබුවා.

POPULAR

Recent articles