“හර්තාලයට අපි නෑ” – පොහොට්ටුවේ වෘත්තීය සමිති නියෝජිතයින්

ලබන 06 වැනි දා සිදු කිරීමට කටයුතු යොදා ඇති හර්තාල් ව්‍යාපාරයට කිසිදු සහායක් ලබා නො දෙන බව පොහොට්ටුව පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් ජනාධිපතිවරයාට පවසා තිබෙනවා. පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම හර්තාලය පැවැත්වෙන බවයි මේ අය කියා ඇත්තේ. එම නිසා තමන් නියෝජනය කරන ආයතන වල සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුන් පවසා තියෙනවා.

පොහොට්ටුවේ වෘත්තීය සමිති නියෝජිතයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඊයේ (03) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී කියා තිබෙන්නේ අපේක්ෂිත වැඩ වර්ජනය, සේවක අයිතීන් වෙනුවෙන් නොව, දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදු කෙරෙන්නක් බවයි. පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම සහ මහජනතාව පීඩාවට පත් කිරීම මෙම වැඩ වර්ජනයේ අපේක්ෂාව බව ඔවුන්ගේ අදහසයි. එම නිසා තත්ත්වය නිසි ලෙස තේරුම් ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කිරීම සියලු සේවකයන්ගේ යුතුකම සහ වගකීම බව එම පිරිස පවසා තිබෙනවා.

අමාත්‍ය දිලුම් අමුණුගම, මොහාන් ද සිල්වා, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන අය සහ ප්‍රවාහන, විදුලිබල, වරාය හා නාවික, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු හා ආයතන ප්‍රධානින් මෙම පොහොට්ටුවේ වෘත්තිය සමිති නියෝජිත හමුවට එක්ව තිබුණා.

POPULAR

Recent articles