අනුර කුමාර දිසානායකට පාඨලී චම්පික රණවකගෙන් ලිපියක්

ඊයේ (03) දිනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඇතුළු පිරිසක් හෙළිදරව් කළ දුෂණ වංචා පිළිබඳව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ලිපියක් ලියා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අමතමින් ලියා ඇති එම ලිපියේ සඳහන් කර ඇත්තේ වසන්ත සමරසිංහ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයකට අනුව රාජපක්ෂලාගේ දූෂිත ගනුදෙනුවලට අදාළව ‘රෙඩ් රූත්’ නම් සමාගමක ගිණුම් විස්තරයක් තමන් සහ තවත් දෙදෙනෙකුට ලබා දුන් බවක් සහ ඒවායේ විමර්ශන ඉන් පසු සිදු නොවූ බවක් සඳහන් වුවත් එවැනි ලිපිගොණුවක් කිසිවෙකු කිසිම දිනක ඔහු වෙත ලබා දී නැති බව පවසනවා.

එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේයි,

“පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා
නායක – ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගය
හිතවත් දිසානායක මහත්මයාණෙනි,

2022.05.03 දින පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුවේ දී වසන්ත සමරසිංහ මහතා විසින් මගේ නම සඳහන් කරමින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධ‍යෙන් පැහැදිලි කිරීමයි.

‘දූෂණ විරෝධී හඬ’ විසින් ඔබ සහ ජවිපෙ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2022.05.03 දින සංවිධානය කෙරුණු මාධ්‍ය හමුවක දී මගේ නම සඳහන් කරමින් වසන්ත සමරසිංහ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයකට අනුව රාජපක්ෂලාගේ දූෂිත ගනුදෙනුවලට අදාළව රෙඩ් රූත් නම් සමාගමක ගිණුම් විස්තරයක් මා සහ තවත් දෙදෙනෙකුට ලබා දුන් බවක් සහ ඒවායේ විමර්ශන ඉන් පසු සිදු නොවූ බවක් සඳහන් විය. එවැනි ලිපිගොණුවක් කිසිවෙකු කිසිම දිනක මා වෙත ලබා දී නැත.

මේ පිළිබඳ තත්ත්වය පැහැදිලි කරන්නේ නම් 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ට අප විසින් සහය දීමට ප්‍රමුඛතම හේතුව වූයේ රාජපක්ෂ පවුල විසින් 2010-15 අතර කාලය තුළ සිදුකරන ලද මහා පරිමාණ වංචා හා මෙගා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති හරහා සිදුකරන ලද විනාශයයි.
මේ පිළිබඳව සංඛ්‍යා හා දත්ත ඇතිව මවිසින් 2014 දී ‘ආලපාලු ආර්ථිකය’ නම් කෘතියක් නිර්මාණය කරන ලද අතර එමගින් දුම්රිය මාර්ග, මහා මාර්ග, අධිවේගී මාර්ග, විදුලි බලාගාර, වරාය, ගුවන් තොටුපල ආදී ක්ෂේත්‍රවල සිදු කරන ලද මහා පරිමාණ වංචාවන් පිළිබඳව බරපතල හෙළිදරව්වක් කරන ලදී. එකී ජනාධිපතිවරණයේදී එය අති විශාල ලෙස උගත් ජනතාව අතර කතාබහට ලක්විය. ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු ඇති කරන ලද පළමු කැබිනට් රැස්වීමේ දීම මවිසින් කැබිනට් පත්‍රිකාවක් 2015 ජනවාරි 21 වෙනිදා ඉදිරිපත් කරන ලදී. එමගින් මේ මහා පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පිහිටුවීමටත් එමෙන්ම මේ සඳහා සුවිශේෂ වූ අධිකරණ සහ නීති පද්ධතියක් ඇති කිරීමේ අවශ්‍යතාවයත් අවධාරණය කරන ලදී.

එදිනම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර ‘දූෂණ විරෝධී කමිටුව’ නමින් වූ කමිටුවක් ද, පිහිටුවන ලද අතර ඔබ (අනුර දිසානායක මහතා) ඇතුළු සියලු පක්ෂ නායකයින්ගේ සහභාගිත්වය සමග එහි ජනතා විමුක්ති පෙරමුණ ද නියෝජනය විය. එමෙන්ම මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා, FCID නම් වෙනම පොලිස් ඒකකයක් ද, නිර්මාණය කිරීමට යෝජනා කෙරිණි.

මාගේ යෝජනාව වෙනුවට කැබිනට් මණ්ඩලය පිළිගත්තේ, අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවයි. කෙසේ නමුත් ඉහත කී දූෂණ විරෝධී කමිටුව මගින් ඉතා සුළු පරිමාණයේ චෝදනා විභාගයට ගැනීමත්, ප්‍රධාන අපරාධ චෝදනා වූ ඇවන්ගාඩ් සමුහය විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා වැනි කාරණා සම්බන්ධයෙන් වූ චෝදනා විමර්ශනය නොකිරීමත් යන කරුණු මත එක් රැස් වීමකින් පසු, එයට මා සහභාගී වූයේ නැත.

එමෙන්ම ඉන් මාස කීපයකට පසු FCIDය සහ දූෂණ විරෝධී කමිටුව අසාර්ථක වීමත් සමගම හොංකොං මාදිලියේ නව නීති රීති පද්ධතියක අවශ්‍යතාවය අවධාරණය කරමින් මවිසින් තවත් කැබිනට් පත්‍රිකාවක් යොමු කරන ලදී. එකී කැබිනට් පත්‍රිකාව කැබිනට් අනුකාරක සභාවකට යොමු කිරීමෙන් පසු එවකට අධිකරණ ඇමතිවරයාව සිටි විජේදාස රාජපක්ෂ මහතා එය සිදු කිරීමට නොහැකි කාරණයක් යැයි පවසමින් කල් ගත් අතර පසුව ඊට සමාන්තර අධිකරණ පිහිටුවීම සිදුවූයේ යහපාලන ආණ්ඩුවේ අවසාන භාගයේදී තලතා අතුකෝරල මැතිනිය අධිකරණ ඇමති වීමෙන් පසුවය.
එමෙන්ම අවස්ථා දෙකකදී මා ඇතුළු තවත් ඇමතිවරුන් ගණනාවකුත් විටින් විට කැබිනට් පත්‍රිකා මගින් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය උනන්දු කිරීමට කටයුතු කල අතර ඒ සඳහා මා හට අර්ජුන රණතුංග, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල, කබීර් හෂීම් වැනි ඇමතිවරුන්ගේ සහාය ලැබුණු බව ද ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

ඒ නිසා කිසිම අවස්ථාවක නාමල් රාජපක්ෂලාගේ හෝ ගෝඨාභය රාජපක්ෂලාගේ, මහින්ද රාජපක්ෂලාගේ පවුලේ කටයුතු පිළිබඳව අප අක්‍රියාකාරීව සිටියේ නැති බව ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කරන අතර, මහින්ද රාජපක්ෂ බලයට පත්වූ වහාම පළිගැනිම සදහා මා අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කළ බව කවුරුත් දන්නා රහසකි. ඒ සඳහා පොදු අපරාධ, පොදු දේපළ පනත යොදා ගනු ලැබූ අතර එවකට ‘දූෂණ සම්බන්ධව චෝදනා ලබා සිටි’ බොහෝ දෙනෙක් සම්බන්ධයෙන් එවන් කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවූ බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.

එමෙන්ම ඒ දූෂණ විරෝධී කමිටුව ව්‍යවස්ථාවට එරෙහි යැයි පවසමින් උපාලි අබේරත්න විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කොමිසමක් පත්කළ අතර, අපට එරෙහිව නඩු 37 ක් එහිදී විභාග කරනු ලැබීය. එම කොමිසම හමුවේ ඔබගේ (අනුර දිසානායක මහතාගේ) නම ද සඳහන්ව තිබූ බව සියලු දෙනා දන්නා කරුණකි. එමඟින් අපගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනා කරනු ලැබීය. ඒ අප ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ යැයි යන චෝදනාවට මුල් වෙමිනි. විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ යහපාලන ආණ්ඩුවේ පොලිස් කටයුතු භාරව සිටි කිසිදු ඇමතිවරයෙකුගේ නමක් හෝ නීතිපති දෙපාර්තමේන්තුව භාරව සිටි කිසිදු ඇමතිවරයෙකුගේ නමක් එකී චෝදනා වලට ඇතුළත් නොවීමය.

එමෙන්ම එම චෝදනා පත්‍රයෙන් පසු ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් තවත් ජනාධිපති කොමිසමක් ඇති කරනු ලැබූ අතර එමගින් කරනු ලැබුවේ ද මේ උපාලි අබේරත්න කොමිසමේ චෝදනා විමර්ශනය කිරීම ය. මෙයට අමතර වශයෙන් මගේ අමාත්‍යාංශවල නිලධාරීන් 2010 සිට සිදුකරනු ලැබූ නොයෙකුත් ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පිළිබඳ විටින් විට කැඳවනු ලැබ රහස් පොලීසියට හා අල්ලස් දූෂණ කොමිසමට කැඳවමින් මහත් හිරිහැරයකට, භාජනය කරනු ලැබූ අතර විශේෂයෙන්ම 2016 දී ගල් අඟුරු වංචාව පිළිබඳව මවිසින් කරන ලද පැමිණිල්ලකට අනුකූලව පත්කරනු ලැබූ ජනාධිපති කොමිසම මගේ සාක්ෂි නොතකා එකී වාර්තාව නිකුත් කිරීමද විශේෂ කරුණකි.

එමෙන්ම අල්ලස් දූෂණ කොමිසම විසින් මගේ පැමිණිල්ල විභාග නොකොට මගේ සාක්ෂිය පමණක් සටහන් කර ගැනීම සුවිශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

ඒ නිසා මෙවැනි කාරණා සම්බන්ධයෙන් කරුණු සොයා බලා කටයුතු කිරීම ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ හා සාමාජිකයන්ගේ වගකීම බව ද අවධාරණය කරමි.

මෙය විශේෂයෙන්ම වසන්ත සමරසිංහ මහතාගේ අවධානය පිණිසය.
ස්තූතියි,
මෙයට – හිතවත්
පාඨලී චම්පික රණවක
පාර්ලිමේන්තු මන්ත්‍රී”

POPULAR

Recent articles