“මේ පවුලට තවදුරටත් රට විනාශ කරන්න දෙන්න බෑ” – ආචාර්ය හරිනි අමරසූරිය

ගෙවී ගිය අවුරුදු දෙකකට වැඩි කාලය තුළ රාජපක්ෂවරුන්ගේ භාවිතය වෙනස් කරලා නැති බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය කියන්නේ. රාජපක්ෂ පවුල යනු කිසිම හිතක් පපුවක් නැති පවුලක් බව ඇය පවසනවා. මන්ත්‍රීවරිය කියා සිටියේ මේ පවුලට තවදුරටත් මේ රට විනාශ කරන්න දෙන්න බැරි බවයි. බලයට ආව හැම මොහොතකම රාජපක්ෂ පවුල හැසිරුණේ රට තමන්ගේ බූදලයක් හැටියට සලකමින් බවයි . එම පවුලට යාන්තම් හෝ සම්බන්ධ අය හැසිරෙන්නේ මේ ආකාරයට බව ආචාර්ය හරිනි අමරසූරිය කියනවා. මේ වනවිට රටේ මිනිස්සු පාරට බහින්නේ අතිශයින්ම සාධාරණ හේතූන් මත බවයි ය සඳහන් කරන්නේ.

“රඹුක්කන වෙඩි තැබීමෙන් මිය ගිය චමින්ද ලක්ෂාන්ගේ පවුලේ සියලු දෙනාට පළමුවෙන්ම අපේ සංවේගය ප්‍රකාශ කරනවා. රෝහල් ගතකර සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධියෙන් කම්පනයට පත්ව ඉන්න රඹුක්කන ජනතාව එක්ක අපි හිටගන්නවා. රාජපක්ෂවරුන්ගේ අත් ලේවලින් පිරිලා තිබෙන්නේ. ඔවුන්ට එවැනි ප්‍රචණ්ඩ ම්ලේච්ඡ ඉතිහාසයක් තියෙන්නේ. ඒ සිද්ධීන් එකක්වත් අපිට අමතක වෙලා නැහැ. රතුපස්වල වගේම උතුරු නැගෙනහිර අම්මලා අවුරුදු ගණනක් තිස්සේ හෙළක කඳුළු අපි දන්නවා. කප්පම් සිද්ධිවලින් මරණයට පත්කළ තරුණයන් ගැන අපිට අමතක වෙලා නැහැ. අද ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්න ගෝඨාභය තමයි විදෙස් මාධ්‍යවේදියෙක් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන ඇහුවාම ඒ කවුද කියලා ඇහුවේ. ගාලු මුවදොර පිටියේ මිනිසුන්ව එල්ලනවා කිවූ එක්කෙනෙක් අද ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්නේ. මේකතමයි ඔවුන්ගේ සංස්කෘතිය” යයි ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

“ගෙවී ගිය අවුරුදු දෙකකට වැඩි කාලය තුළ ඔවුන්ගේ භාවිතය වෙනස් කරලා නැහැ. කිසිම හිතක් පපුවක් නැති පවුලක් මේක. මේ පවුලට තවදුරටත් මේ රට විනාශ කරන්න දෙන්න බැහැ. බලයට ආව හැමමොහොතකම රාජපක්ෂ පවුල හැසිරුණේ රට තමන්ගේ බූදලයක් හැටියට සලකලයි. ඒ පවුලට යාන්තම් සම්බන්ධ අය හැසිරෙන්නේ මේ විදිහට. මේ වනවිට රටේ මිනිස්සු පාරට බහින්නේ අතිශයින්ම සාධාරණ හේතූන් මත. දරුවන්ට කන්න දෙන්න බැරි නිසා, කිරිපිටි ටිකක් සොයාගන්න බැරි නිසා, ත්‍රීවිල් එක දුවන්න පෝලිමේ ඉන්න සිදුවීම මේ සියලුදේම දරාගන්නේ කොහොමද? ඔවුන්ගේ දුක, වේදනාව තේරුම් ගන්න බැරි පාලකයන්ගෙන් කිසිවැඩක් නැහැ. ප්‍රශ්න දරාගන්න බැරිව එළියට බහින ජනතාවට තුවක්කුව එල්ල කරන්නේ තමන්ගේ බලය පිළිබඳව විතරක් හිතන, බලය පිළිබඳව කෑදරකමින් ඉන්න පවුලක් නිසා. ඒ පවුලට තවදුරටත් මේ රටත් මේ රටේ ඉන්න මිනිසුන්වත් විනාශ කරන්න දෙන්න අපි සූදානම් නැහැ. රටේ පැනනැගී තිබෙන විරෝධයෙන් මිනිස්සු කියන්නේ මොකක්ද කියලා දැන්වත් තේරුම් ගන්න ඔවුන් දෙන සීනිබෝලවලින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

අලුත් කැබිනට් එකක් කියලා පත්කළාට මිනිස්සු අහුවෙන්නේ නැහැ. සමාජ මාධ්‍යවල තිබුණේ ‘ආපිකෝ එකෙන් ගත්ත එකෙන් ගත්ත කැබිනට් එක වෙනුවට දැන් දම්රෝ එකෙන් ගත්ත කැබිනට් එකක් තිබෙන්නේ’ කියලා. මිනිස්සු මේවා විහිලුවට ලක්කරනවා. මේ රටේ ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් අපි ආයාචනයක් කරන්න කැමතියි. ඔබලාගේ පවුල්වලටත් ඔබලාටත් ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා කරුණාකරලා ජනතාව වෙතට තමන්ගේ තුවක්කුව හරවන්න එපා. ත්‍රිවිධ හමුදාවට පොලිසියට අණ පිළිපදින්න උගන්වලා තිබෙන්නේ. නමුත් මේ වෙලාවේ ඔවුන් ජනතාව එක්ක හිටගන්නවාද නැද්ද කියලා තෝරා ගැනීමක් කරන්න වෙනවා. මේ ජනතාව අරගල කරන්නේ ඔබගේ ප්‍රශ්න වෙනුවෙනුත් කියලා යුද හමුදාවේ ඉන්න අයටත් පොලිසියටත් අපි මතක් කරන්න කැමතියි. තුවක්කුව වැරදි පැත්තට හරවන්න එපා.

මේ වෙනකොටත් IMF එක වැනි ආයතන එක්ක ආණ්ඩුව සාකච්ඡා කරමින් ඉන්නවා. අපි ඔවුන්ටත් මතක් කරලා දෙන්න කැමතියි, ජනතා පරමාධිපත්‍ය බලය සියල්ලට වැඩිය ඉහළයි කියලා. ඔබ මේ ගනුදෙනු කරන්නේ පරමාධිපත්‍යය බලය නැති ආණ්ඩුවත් එක්ක. ආණ්ඩුව තවදුරටත් මේ රටේ මිනිසුන්ව නියෝජනය කරන්නේ නැහැ. ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. මොකක් හෝ කරළා බලයේ ඉන්න දඟලන ම්ලේච්ඡ නපුරු පවුලක් එක්ක ගනුදෙනුකර ඒ බලය රැකගන්න මුහුනොවෙන්න කියලා අපි යෝජනා කරනවා” යි ඇය පවසනවා.

POPULAR

Recent articles