සීනි බදු වංචාවෙන් අහිමි වූ ආදායම යළි අයකර ගන්න – ජාතික විගණන කොමිසම

සීනි බද්ද අඩු කිරීම මගින් රජයට අහිමි වූ බදු ආදායම, එම වාසිය ලබාගත් පාර්ශවයන්ගෙන් නැවත අය කර ගත යුතු බව ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කර තිබෙනවා.

2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට එතෙක් සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩුකිරිමට රජය පියවර ගත්තා.

මෙම විගණනයෙදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කළ 2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා වූ මාස 04ක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763 ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.

අදාල කෙටි කාලසීමාව තුළ පමණක් ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදීගෙන අඩු මිලට අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 102ක පමණ අලාභයක් වාර්තා වුණා.

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තොබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වා වූ මාස කිහිපය තුළ පමණක් පිරමිඩ් විල්මා ආයතනයේ සිනි ආනයනය සියයට 1,222 කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මෙලෙස සීනි සඳහා වූ බදු අඩු කිරීමෙන් රජය අපෙක්ෂා කළ පාරිභෝගික සහන සැලසිමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළෙඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසියක් උදාකර ගෙන ඇතැයි විගණන කාර්යාලය තවදුරටත් අනාවරණය කර තිබෙනවා.

විගණන කාර්යාලය නිර්දේශ කර ඇත්තේ සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපෙක්ෂව එම වාසිය පාරිභෝගිකයින් වෙත විතැන් නොකර තමන් අත රඳවා ගත් පාර්ශව නිසි පරිදි හඳුනාගෙන එම ආර්ථික වාසිය ජනතාවට ලබාදීම පිළිබඳව අවධානය යොමු කිරීමත්, එසේ නොමැතිනම් රජය කැප කළ බදු අදායම තමන් වෙත රඳවා ගත් පාර්ශව වලින් යළි රජයට ලබා ගැනිමේ හැකියාව පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවයි.

POPULAR

Recent articles