“ගින්දරත් එක්ක සෙල්ලම් කිරීම ඉතා වගකීමෙන් කරන්න” – නීතිඥ උපුල් කුමරප්පෙරුම

“රටේ ඇතිවී තිබෙන ජනතා කැළඹීම මර්දනය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවමින් ලංකාවට වෙනත් නීතියක් ගේන්න උත්සාහ කළොත් ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට අපි ඒ සියලු අනීතික තත්වයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරනවා. මිරිහාන සිද්ධියේදී පොලීසිය හා හමුදාවේ හැසිරීම ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. උද්ඝෝෂණයට සම්බන්ධ වූ පිරිසෙන් 27කට පොලීසිය, එස්.ටී.එෆ්. එක සහ ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් පහර දී තිබෙනවා. මේ රටේ මිනිස්සුන්ට පහර දෙන්න කිසිම ආරක්‍ෂක අංශයකට හැකියාවක් නැහැ. පොලීසිය හෝ හමුදාව මිනිස්සුන්ට පහර දීලා ඊට පස්සේ වෙන දේ ගැනත් දැන ගන්න ඕනෑ. පහර දීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් පැවරූ පසු නීතිපතිවරයා පොලීසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. පෞද්ගලික නීතිඥයෝ අරගෙන පෙනී සිටින්න ඕනෑ. එවැනි නඩුවක වැරදිකාරයා වුණොත් වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා ආරක්‍ෂක අංශ ජනතාව කවුද කියන කාරණය සම්බන්ධයෙන් විමසිල්ලකින් ඉන්න කියලා අපි නීතිඥයෝ හැටියට අනතුරු අඟවනවා.

නීතිය ක්‍රියාත්මක කරන්න දායක වන ආයතනවල අතට නීතිය ගන්න බැහැ. දරුණු පීඩනයක ජීවත් වන ජනතාවක් මිරිහානේදී ඉස්සරහට ආවේ. අත දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුත් ඒ අතර හිටියා. අපේ බදු මුදල්වලින් පඩි ගන්න ආරක්‍ෂක අංශයකට එවැනි පිරිසකට පහර දෙන්න හැකියාවක් තිබෙනවාද? රාජ්‍යය ආරක්‍ෂා කිරීමේ වගකීම ඔබට තිබෙනවා. හැබැයි රාජ්‍යය ආරක්‍ෂා කිරීම දඩමීම කරගෙන අහිසංක මිනිස්සු තලා පෙලීමේ හැකියාවක් පොලීසියටත් හමුදාවටත් නැහැ. ඒ නිසා නීතිඥයන් හැටියට අපි පොලීසියට කියන්නේ ගින්දරත් එක්ක සෙල්ලම් කිරීම ඉතා වගකීමෙන් කරන්න කියලා. ඔබට නඩු පැවරුණ අවස්ථාවක කිසිම දේශපාලඥයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. රජය විවේචනය කිරීමේ හැකියාව ජනතාවට තිබෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික, මූලික අවශ්‍යතා ටික ආණ්ඩුවකට සපුරන්න බැරිනම් ඒ ආණ්ඩුව විවේචනය කිරීමේ හැකියාව ජනතාවට තිබෙනවා. මිරිහානේ සිදුවීමෙන් පසුව නීතිඥයන් 600ක් විතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. කරන්න යන මර්දනය මොකක්ද කියලා නීතිඥයන්ට තේරෙනවා. ඒ නිසයි ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ. ආණ්ඩුව යන වැරදි පීල්ලට විරුද්ධව උද්ඝෝෂණය කිරීමේ හැකියාව මේ රටේ මිනිස්සුන්ට තියෙනවා. සියල්ලට ඉහළින් තියෙන්නේ රටේ නීතිය. එය පැත්තකට දාලා ක්‍රියා කිරීමෙන් විශාල විනාශයකට පත්විය හැකි බවට මම අනතුරු අඟවනවා” යි ඔහු පවසනවා.

POPULAR

Recent articles