මහජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දැඩි අවධානය යොමුකරන්නැයි මල්වතු නායක හිමියන්ගෙන් උපදෙස්

රටේ මහජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව දැඩි අවධානය යොමු කර ඒවාට නිසි විසඳුම් ලබා දීමේ වැඩ පිළීවෙළක් රජය මගින් කඩිනමින් අරඹන්නැයි මල්වතු නායක හිමියන් උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. රටේ ජනතාවට විශාල ලෙස බලපාන ප්‍රශ්න රැසක් තිබෙනවා. නමුත් ඒවාට විසඳුම් ලබා දෙන නිසි වැඩ පිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවක් මෙතෙක් පෙනෙන්නට නැති බවත් එම ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා නිසි වැඩ පිළිවෙළක් කඩිනමින් අරඹන්නැයි මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බොටුවාවේ සුමංගල නා හිමියන් තමන්ට ප්‍රකාශ කළේ යැයි පරිසර අමාත්‍යවරයා කියනවා.

ගෑස්, විදුලිය, ඉන්ධන අර්බුදය මෙන්ම කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලු සහගත තත්ත්වය සම්බන්ධව ද උන්වහන්සේ කරුණු දැක්වූ බවයි අමාත්‍යවරයා කියන්නේ.

“රටේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව රජය දැනට වඩා අවධානය යොමු කර කටයුතු කළ යුතු උන්වහන්සේ ප්‍රකාශ කළා. රජය මේ වනවිට මුහුණ පා සිටින ආර්ථිකමය අසීරුතාවය පිලිබඳ මම උන්වහන්සේට කරුණු ඉදිරිපත් කළා. විශේෂයෙන් දැනට පවතින මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපේ ජාතික නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතුමයි. රටට අවශ්‍ය සියලුම දේවල් පිටරටින් ආනයනය කිරීමට යාම තුළ වර්තමානයේ අපි මෙම අසීරුතාවන්ට මුහුණ පා සිටින බවත් මම උන්වහන්සේට කරුණු ඉදිරිපත් කළා.

රටේ ජනතාව මේවනවිට විශාල වශයෙන් කැපකිරීම් කර තිබෙනවා. ඒ වගේම දේශපාලකයින් ද කැපකිරීම් කළ යුතුයි. මම කොවිඩ් 19 අවසන් වන තෙක් මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ගන්නේ නැහැ. ඒක කොවිඩ් අරමුදලට බැර කළා. තවත් කැප කිරීම් අවශ්‍ය නම් ඒ සඳහා මම සූදානම්. ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් පමණක් නොව පාර්ලිමේන්තුවේ 225ම මෙන්ම නිලධාරින් ද ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා” යැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

POPULAR

Recent articles