‘හදිසි නීතියත්, ඇඳිරි නීතියත් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්කරනවා’ – නීතිඥ සුනිල් වටගල

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීමත් ඇඳිරි නීතියත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන බව නීතිඥ සුනිල් වටගල පවසනවා. රට තුළ පවතින තත්වය පිළිබඳව අද (03) මාධ්‍ය හමුවක් පවත්වමින්. ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම රජය විසින් ඇඳිරි නීතිය පනවා තිබියදීම මෙම මාධ්‍ය හමුව පැවැත්වීම විශේෂයක්.

“ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවා ඒ යටතේ ඇඳිරි නීතිය පැනවීමට ක්‍රියාකර තිබෙනවා. මූලිකව ගත්තාම හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට හේතුවූ කරුණු, අරමුණු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්‍ෂක පනතේ විධිවිධානවලට පටහැනියි. ජනාධිපතිවරයා වෙනත් අරමුණක් ඉටුකර ගැනීමට මෙම පනත් යොදාගෙන තිබෙනවා. හදිසි නීතිය පනවමින් 2022.04.01 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ‘ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවශ්‍යතා තත්වයක් පැවතීම හේතුකොට ගෙන’ කියලා. මේ රටේ පුරවැසියන් හැටියට හදිසි තත්වයක් තිබෙන බව අපි දැක්කේ නැහැ. අත්‍යවශ්‍ය ආහාර හා සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුවේ සැපයීම් අඩාල වීම හේතුකොටගෙන ඇති වූ තත්වයක් තිබෙන්නේ. මහජන ආරක්‍ෂක පනතෙන් ප්‍රතිපාදන සපයා නැහැ. මේ නිසා හදිසි නීතිය පැනවීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා ජනාධිපතිවරයා පැනවූ මේ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මේ නිසා ජාතික ජන බලවේගයේ නිීතිඥයින් ලෙස හදිසි නීතිය පැනවීමත් ඇඳිරි නීතිය පැනවීමත් සිදුකළ ගැසට් පත්‍ර දෙක ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අපි අභියෝගයට ලක්කරනවා.

මේ අනීතික ගැසට් පත්‍ර දෙක නිකුත් කළාට පසු ප්‍රධාන අනීතික ක්‍රියාමාර්ග දෙකක් සිදුවුණා. ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවාසය ආසන්නයේ සිදුවූ සිද්ධිය පාදක කොටගෙන 52ක් අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් 26ක් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කොට පොදු දේපළ පනත යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබුණා. ඒ වෙනුවෙන් බී වාර්තාවක් පොලීසියෙන් ඉදිරිපත් කර තිබුණා. පොලීසියේ බී වාර්තාව අනුව මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේ ඉදිරිපත් කර තිබෙන සැකකරුවන් අතර පොදු දේපළ පනත යටතේ අලාභහානි සිදුකළ සැකකරුවන් සිටිනවාද කියලා. නමුත් එසේ නොමැති බව පොලීසියෙන් කියවුණා. මේ නිසා ඇප දීමට ප්‍රධාන සාධකය වුණේ, මේ 52 අතර පොදු දේපළ පනත යටතේ කිසිදු සාක්‍ෂියක් නොවීමයි. ඒ වගේම 02දා අත්අඩංගුවට ගත් සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා සම්බන්ධයෙන් පාන්දර එක හමාර පසුවන තුරු නීතිඥවරු 75ටක අධික පිරිසක් මෝදර පොලීසියේ රැඳී සිටියා. පාන්දර 2.30ට ඔහුව ගරු මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවස වෙත ඉදිරිපත් කළා. දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ සමාජ ජාල ක්‍රියාකාරිකයා වරදක් නැති බව පෙන්වා දුන්නා.

මේ වගන්තියෙන් කියවෙන්නේ රජය පෙරලීමට, රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමයි. “Gota Go Home” යන පෝස්ටුව ප්‍රදර්ශනය කිරීම මහජන කැළඹිල්ලක් ඇති කිරීමට කාරණයක් බව පොලීසිය කීවා. නීතිඥයන් හැටියට අපි තර්ක කළේ මෙයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබූ “සිසිර කුමාර වාහලතන්ත්‍රි එරෙහිව නීතිපති” යන නඩු තීන්දුව ඉදිරිපත් කළා. මේ අනුව විනිසුරුතුමා විනිශ්චයක් ලබා දෙමින් සඳහන් කළේ “Gota Go Home” යන්න දණ්ඩ නීති සංග්‍රහයට අයත් නොවන බවයි.

මේ සිද්ධි දෙකම මුලින් කිවූ ගැසට් පත්‍ර දෙකට යටත් කර රජයට එරෙහිව නැගෙන මහජන විරෝධතා රැල්ල මර්දනය කරන්න නීතියේ හස්තය යොදා ගන්නයි උත්සාහ කරන්නේ. කොවිඞ් වසංගත සමයේ පොලිස් ඇමතිවරයා ලියවිල්ලක් ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විරෝදය පළ කිරීමේ අයිතියක් නැති බව ප්‍රකාශ කළා. ඒ වගේම මේ අවස්ථාව ඉදිරිපත් කර තිබෙන්නේ හදිසි අවස්ථා ප්‍රකාශනයක් විතරයි. ඊට අදාළ රෙගුලාසි ඇතුළත් කරන ගැසට් පත්‍රයක් නැහැ. ඒනිසා රෙගුලාසි නැතිව නීති විරෝධී කටයුතු නොකරන ලෙසට අපි ජනාධිපතිවරයාට අවධාරණය කරනවා. මහජන කැළඹිල්ලක් ඇතිවීමට බලපාන කිසිදු සිදුවීමක් අපේ රටේ සිදුවී නැහැ” යි නීතිඥ සුනිල් වටගල පවසනවා.

POPULAR

Recent articles