“ගෑස් හිඟය දින 04 කින් අවසන්” – ලිට්‍රෝ සමාගම

තවත් දින 04 කින් පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් වන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

මේ වන විට දෛනිකව වෙළඳපොලට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 120,000 ක් ලෙස එම සමාගම පෙන්වා දෙනවා.

බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ගෑස් ලබාගැනීම සඳහා දැනට පවතින පෝළිම් හෙට (25) උදෑසන වන විට අවසන් වනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙන්ම ධීවර කටයුතු හා හෝටල් සඳහා ද ගෑස් ලබාදීමේදී ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙනවා.

දෙමටගොඩ හා මරදාන ප්‍රදේශවල පිහිටි මහල් නිවාස සංකීර්ණ සඳහා අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලබාදීම ඊයේ (23) රාත්‍රීයේ සිදු කෙරුණේ මරදාන හා දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීමකට අනුවයි.

පොලිස් ආරක්ෂාව යටතේ මෙලෙස ගෑස් සිලින්ඩර් ලබාදීම සිදුකළ අතර එහිදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දහසකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ 07 මල්පාර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණ සඳහා ද ගෑස් සිලින්ඩර් ලබාදීම අද (24) දිනයේ සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

කොළඹ 01 සිට 15 දක්වා පිහිටි සියලු මහල් නිවාස සංකීර්ණ සඳහා ගෑස් ලබාදීම කඩිනමින්ම අවසන් කරන බවටද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

කෙසේ වුවද දින 10 ක් සඳහා අවශ්‍ය ගෑස් තොග මේ වන විට ලිට්‍රෝ සමාගම සතුව පවතින බවත් ගෑස් නැව් 03 ක් සඳහා අවශ්‍යවන ඩොලර් මිලියන 10 ක මුදලක් ද ඉකුත් සඳුදා දින පස්වරුවේ ලබාදී ඇති බවත් වාර්තා වනවා.

POPULAR

Recent articles