“උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරනවා” – ජනපති

ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමන් දැඩි කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරන බවත් ඔහු කියනවා.

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරිය වන වික්ටෝරියා නූලන්ඩ් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා තිබුණා. ඊයේ (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපතිවරයා සහකාර ලේකම්වරිය දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බවත් එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති බව ජනාධිපතිවරයා කියා තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහකාර ලේකම්වරියගෙන් ඉල්ලා සිටිබව වාර්තා වෙනවා.

කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දුන් සහකාර ලේකම්වරිය ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ ඇති කැමැත්තට ප්‍රසංශා කළ බව පැවසෙනවා.

මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කර තිබූ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පවසා තිබෙනවා.

අමෙරිකානු සහකාර ලේකම් ඩොන් ලු, ඇමරිකානු තානාපති ජූලි චන්ග්, ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි, දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන අය මෙම අවස්ථාවට එක්ව සිටියා.

POPULAR

Recent articles