“ජනපති සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවන පුවත් අසත්‍යයි” – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ වන විට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර සිටිනවා.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මාධ්‍ය වෙත කියා සිටින්නේ ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවයි.

ජාතිය මුහුණ දී සිටින විවිධ ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා ඇතැම් පිරිස් විසින් කටකතා පතුරවන බවයි.

මේ අතර ජනාධිපතිවරයා හෙට (22) ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ හමුවක් කැඳවා ඇති බව වාර්තා වනවා.

පවතින ආර්ථික අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා මාර්තු 23 වැනි බදාදා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට ද නියමිතයි.

මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සාකච්ඡා කිරීම සඳහායි.

POPULAR

Recent articles