“මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම්” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදී රාහුල් සමන්තට දුරකථන ඔස්සේ තර්ජනය කර සිදුකළ බලපෑමක් හෙලා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ දුරකථන ඇමතුම –

මෙම තර්ජනය සිදුකර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය දරන, ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබූ දුමින්ද සිල්වා බවයි කියන්නේ.

“මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් – මාධ්‍ය නිදහස සීමා කිරීමට මාධ්‍ය හිමිකරුවන්ට සහ දේශපාලන බලධාරීන්ට ඉඩ නොතැබිය යුතුයි” යනුවෙන් නිකුත් කළ එම නිවේදනයට අනුව ජංගම දුරකථන අංක 0772624202 ඔස්සේ මාධ්‍යවේදී රාහුල් සමන්තට බලපෑම් කරමින් ‘හිරු’ නාළිකා ප්‍රධානි රෙනෝ සිල්වාගේ මල්ලී වන දුමින්ද සිල්වා අම්බලන්තොට වැලි ජාවාරම් පිළිබඳ පටිගත කළ දර්ශන වාර්තා කිරීමෙන් වළකින මෙන් දැනුම් දුන් බවයි කියන්නේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් හනා ඊබ්‍රහීම් සහ කැඳවුම්කරු ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය මෙසේයි.

“2022. 03. 16
මාධ්‍ය නිවේදනයයි

මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් – මාධ්‍ය නිදහස සීමා කිරීමට මාධ්‍ය හිමිකරුවන්ට සහ දේශපාලන බලධාරීන්ට ඉඩ නොතැබිය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

අද උදෑසන දුරකතනයෙන් තමා ඇමතූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මාධ්‍ය වාර්තාකරණ කටයුත්තකින් ඉවත් වන ලෙස බලපෑම් කළ බව මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසයි. 0772624202 දරන දුරකතන අංකයෙන් කතා කළ ඔහු, තමන් හිරු නාළිකා ප්‍රධානි රෙනෝ සිල්වාගේ මල්ලී බව ද අම්බලන්තොට වැලි ජාවාරම් පිළිබඳ පටිගත කළ දර්ශන වාර්තා කිරීමෙන් වළකින මෙන් දැනුම් දුන් බවද සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන මාධ්‍යවේදී රාහුල් සමන්ත පවසයි.
අදාළ දුරකතන ඇමතුමේ පටිගත කළ හඬපටද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත එවා ඇති අතර රාහුල් සමන්ත පවසන්නේ අංකය අනුව කළ පරීක්ෂා කිරීමේදීද එය දුමින්ද සිල්වාගේ දුරකතන අංකය ලෙස තහවුරු වූ බවයි.
රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු මෙන්ම ප්‍රබල දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙකුද වන දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට සිරදඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති සමාව මත නිදහස් ව තිබෙන පසුබිමක මෙවැනි සිදුවීමක් සුළුකොට තැකිය නොහැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.
එමෙන්ම ඔහු, මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වයට සම්බන්ධ තැනැත්තෙකු ලෙස මාධ්‍යවේදියෙකුට මෙලෙස බලපෑම් කිරීම ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන අනිසි අතපෙවීම් විදහා දැක්වෙන, හෙලා දැකිය යුතු අශෝභන සිදුවීමක් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.
රාහුල් සමන්තගේ වාර්තාකරණයට අදාළ රජයේ ආයතන ඔහු පිළිබඳ තොරතුරු ජාවාරම්කරුවන්ට හා වෙනත් පාර්ශවවලට ලබා දීම නිසා මෙවැනි තත්වයක් උද්ගත වන්නේ නම් එය ඉතා බරපතල තත්වයකි. එබැවින් මේ සම්බන්ධයෙන් වහා සොයා බලන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයට බලකර සිටී”

POPULAR

Recent articles