විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ආරම්භ කරයි

මීට වසරකට පෙර 2021 ජනවාරි 28 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම පෙබරවාරි 28 වෙනිදා ආරම්භ කරන බව කියනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

පෙබරවාරි 28 වෙනිදා පෙ. ව. 10.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි විශේෂ ජනාධිපති කොමිෂන් සභා ශාලාවේදී මෙම සාක්ෂි විමසීම් ආරම්භ කරන බවයි නිවේදනයට අත්සන් කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක කියන්නේ.

1978 අංක 07 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනතේ විධි විධාන පරිදි දුෂණ මර්ධන කමිටුව හා එහි ලේකම් කාර්යාලය මගින් සිදු කළැයි කියනු ලබන අක්‍රමිකතා සොයා බැලීම සඳහා බව කියමිනුයි ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළේ.

2015 ජනවාරි 08 දින සිට 2019 නොවැම්බර් 19 දින දක්වා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසමේ නිර්දේශ මත මේ කොමිසම පිහිටවනු ලැබුවා.

එම මුල් කොමිසමට විමර්ශනය කළ හැක්කේ දේශපාලන පළිගැනීමට ලක්වූ බව කියන රජයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් වුවත් ඊට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති එවැනි කාණ්ඩයකට අයත් නොවන නිසා කොමිසම වෙත නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහුට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා ලිඛිත දැනුම් දීමක්ද කර තිබුණා.

ඔහුගේ පැමිණිලි විභාගය දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ විෂය පථයට අදාළ වන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති කොමිසමෙන් ප්‍රශ්න කර තිබුණා. ඇවන්ට්ගාඩ් සභාපතිවරයා රාජ්‍ය නිලධාරියකු නොවන බවත් ඔහු සිදුකර ඇත්තේ රජය විසින් පවත්වාගෙන ගිය සේවාවක් පවරා ගැනීම පමණක් බවත් මන්ත්‍රී අනුර දිසානායක පෙන්වා දුන්නා.

ඒ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ එම කොමිසමේ වාර්තාවට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සම් 05ක් ගොනු කළා.
එම පෙත්සම් ගොනුකර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක සහ නාවික හමුදාවේ විශ්‍රාමික අද්මිරාල් සුසිත් වීරසේකර යන අය විසින්.

ජනාධිපති කොමිසමට ඇති නීතිමය බලය, කොමිසම කටයුතු කළ ආකාරය සහ අයුතු ලෙස බලය භාවිත කළ ආකාරය මේ පෙත්සම්කරුවන් ප්‍රශ්න කර තිබූණා.

මෙම කොමිසම පිහිටුවන ලද්දේ 2015 ජනවාරි 08 දින සිට 2019 නොවැම්බර් 19 දින දක්වා රාජ්‍ය නිලධාරීන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බව කියමින්.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සභාපතිවරයා යි.

POPULAR

Recent articles