විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඇතැමුන්ගෙන් තර්ජන

විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඇතැමුන් තර්ජනය කරන බවත් බිය ගැන්වීමට හදන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරනවා. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති අවස්ථාව අහිමි කළ යුත්තේ ප්‍රතිපත්තියක් හැටියට බව පැවසූ අමාත්‍යවරයා දැන් පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියා නිසා රටේ ආර්ථිකය විනාශ වු බව පවසනවා. ඔහු මුදල් ඇමතිකම ගෙන බොරු අයවැය ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

අදාළ ද්විත්ව පුරවැසියා මුළු ලෝකයම පිළිගන්නේ ලෝකයේම සිටින දූෂිත පුද්ගලයෙකු බවයි ඔහු පවසන්නේ.

“අපේ රට මේ වන විට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජ අසහනයක්, තරුණ අසහනයක් මතුවී තිබෙනවා . ඒ සියල්ලටම මුල් වී තිබෙන්නේ අප රටේ මතු වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය යි . එය නිවැරදි කර ගැනීම සඳහා අප හට ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ හිදගෙන විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලය පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන වලට පවරා ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාරදෘශ්‍ය භාවයකින් යුතුව රජය පවත්වාගෙන යාමයි.

ඒ සඳහා ප්‍රථම පියවර වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදී තිබුණ ස්වාධීන ආකාරයෙන් රාජ්‍ය ආයතන පවත්වාගෙන යමින් දූෂණය වංචාව අකාර්යක්ෂමතාවය නොමැතිව එම ආයතන පවත්වාගෙන යාම සඳහා පියවර ගැනුණා. නමුත් 20 වැනි සංශෝධනය මගින් එය අවලංගු කර තනි පුද්ගලයකු මත බලය පැවරීම මතින් තමයි මේ ව්‍යසනය සිදු වී තිබෙන්නේ.

එසේම ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයකු පාර්ලිමේන්තුවට පත් වී පැමිණ මුදල් අමාත්‍යංශයත් භාර ගෙනරටේ ආර්ථිකය විනාශ කිරීමට විශාල වශයෙන් දායක වී තිබෙනවා. එය නිවැරදි කර ගැනීම සඳහා බලාපොරොත්තුවෙනුයි නව අගමැතිවරයෙකු යටතේ මා රජයට එකතු වූයේ.

මේ අවස්ථාවේදී විපක්ෂයට ප්‍රශ්න තිබේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. දහ නමය ප්ලස් කියලා ඒ ගොල්ලන් අදහස් කරන්නේ 19න් එහා ගිය ක්‍රමයක් . ඔවුන්ට තිබෙන ප්‍රශ්නය ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරිමේ තිබෙන බලය අයින් කරන්න කියලයි. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මතයි. එහි ප්‍රධාන වගන්තියක් වන්නේ විධායක ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතුයි කියන එකයි .

රටේ සේනාධිනායකයා විධායක ජනාධිපතියි. ඒ අනුව ජනාධිපතිවරයාගෙන් ආරක්ෂක අමාත්‍ය ධුරය ඉවත් කරනවා නම් ජනමත විචාරණයකට යාමට සිදුවෙනවා. මෙවැනි අවස්ථාක එවැනි දෙයකට යා හැකිද නොහැකිද යන්න ජනතාව අවබෝධ කරගෙන සිටිනවා. ඒ අනුව විපක්ෂයත් අවබෝධ කරගනියි කියා අපි බලාපොරොත්තු වෙනවා” අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

POPULAR

Recent articles