Home Blog Page 136

යුක්‍රේනයේ මරියපෝල් නාවික හමුදා අණදෙන නිලධාරීයාගෙන් ලෝක නායකයින්ට ආයාචනයක්

0

යුක්‍රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්යන, ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ රුසියාව යටත් වීම සඳහා ලබාදුන් කාල සීමාව යුක්‍රේන හමුදාව කිසිදු යටත්වීමක් නොපෙන්වා ගෙවී යාමෙන් පසුවයි.

“ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් මරියපෝල්හී නාවික හමුදා අණදෙන නිලධාරීයා සිය වීඩියෝ පණිවිඩය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව අවසන් මොහොත දක්වා උත්සහය අත්නොහරින බවයි.

කෙසේ වුවද යුක්‍රේන හමුදා සෙබළුන් කොපමණ ප්‍රමාණයක් මරියපෝල් නගරයේ රැඳී සිටිනවාද යන්න නිෂ්චිතව දක්වා නොමැත.

නමුත් තුවාල ලැබූ භටයන් 500 ක් පමණ වානේ කම්හලක් තුළ රඳවා ප්‍රතිකාර කරන බව මරියපෝල්හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්යන තහවුරු කර තිබෙනවා.

36 වැනි සමුද්‍ර බලඇණියට නායකත්වය දෙන ඔහු පැවසුවේ තම භට පිරිස් සඳහා අවශ්‍ය සැපයුම් හිඟ වෙමින් ඇති බවයි.

එබැවින් මෙම වීඩීයෝ පණිවිඩය, සිය හමුදා බලඇණිය ලෝකය ආමන්ත්‍රණය කරන අවසන් අවස්ථාව විය හැකි බව මරියපෝල් හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්යන පවසනවා.

අවසන් වශයෙන් ඔහු ලෝක නායකයින් අමතමින් ආයාචනා කර සිටින්නේ සිය හමුදාවට උපකාර කරන ලෙසයි.

“ගෝල් ෆේස් මහජන විරෝධතාවට දැන් ජනතාව යන්නේ නෑ” – ප්‍රසන්න රණතුංග

0

ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධතාවට ආරම්භයේදී මිනිසුන් විශාල පිරිසක් ගියද දැන් එසේ නොගොස් ජනතාව එය ප්‍රතික්ෂේප කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (21) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඔහු සඳහන් කරන්නේ එම මහජන විරෝධතාව කානිවල් එකක ස්වරූපයක් ගෙන ඇති බවත් භාණ්ඩ බෙදන ආකාරය දැක මිනිසුන් කළ කිරීමට පත්ව ඇති බවයි.

එමෙන්ම ඔහු කියා සිටියේ සාමකාමී විරෝධතා පැවත්වීමට ඔවුන්ට ඉඩ දෙන ලෙසත් ඒවා තුළට ගොස් ගහ මරාගන්නා තත්ත්වයට පත් නොකරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවයි.

“ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් තිබූ සුජාතභාවය දැන් ඉවරයි” – නීතිඥ උපුල් කුමාරප්පෙරුම

0

මේ ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් තිබෙන සුජාතභාවය දැන් ඉවර බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසනවා. සමාජයේම ජීවත්වෙන පොලිස් නිලධාරීන් තුවක්කු උස්සන්න නිරායාසයෙන් පෙළඹෙන්නේ නැති බව ඔහු කියනවා. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් සහ සමාජ ආරක්ෂන වශයෙන් ඇතිවී තිබෙන ව්‍යසනයට ගොදුරුවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත්කරන්න ක්‍රියාකළ විශාල පිරිසක් බවයි ඔහු සඳහන් කරන්නේ. විශේෂයෙන්ම උගත්තු කියන කොටසත් ඉතාමත්ම අසික්ෂිත විදිහට ගෝඨාභය චරිතය පිම්බු බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසනවා. ඔවුන් මේ ඇතිවී තිබෙන තත්වය සම්බන්ධ වගකීම් භාරගන්න ඕනෑ බවයි ඔහු කියන්නේ. ලක්ෂ හැටනවයක් ඡන්දය දුන්නේ වියත්තු කියන කොටස සහ වෘත්තිකයන් නිසා බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසනවා.

“ගෝඨාභය රාජපක්ෂ ගැන සමාජය දැක්කේ කොළඹ නගරයේ පේමන්ට්වල ගල් අල්ලපු එකෙන්. අයියා සල්ලි දුන්නා. මල්ලී මේ වැඩටික කළා. පාර දෙපැත්තේ මල් පෝච්චි තියලා ගල් ඇල්ලුවා. පාරේ ගල් අල්ලලා පාර දෙපැත්තේ මල් හිටෙව්වාම ජනාධිපතිකම කරන්න සුදුසුයි කියලා මේ රටේ මිනිස්සු හිතුවා” නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියා සිටිනවා.

“නීතිඥයෝ හැටියට අපි ප්‍රශ්නයක් දිහා බලන්නේ නීති රාමුව ඇතුළෙන්. පාසල් ගුරුවරයෙක් හිතන්නේ ළමයින් යම් වෘත්තීයකට යොමු කරවන්න. මේ වගේ තම තමන්ගේ වෘත්තීන් අනුව තමන් වෙත එන සමාජීය හා දේශපාලන ප්‍රශ්න ගැන ගොඩක් අය හිතනවා. ගෝඨාභය රාජපක්ෂ වෘත්තියෙන් හමුදා නිලධාරියෙක්. ඔහු ඇමෙරිකාවට ගිහිල්ලා නැවත ලංකාවට ඇවිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට යුද්ධයේ අවසාන කොටසට සම්බන්ධ වුණා. ඔහු ජනාධිපතිවරයා හැටියට පත්වුණාට පස්සෙත් විවිධ තනතුරුවලට හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් පත්කර ගත්තා. ඔහු දිගින් දිගටම විශ්වාස කරන්නේ මිලිටරි ක්‍රමයයි. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට සිටියදී වැලිකඩ ඝාතන, රොෂේන් චානක ඝාතනය, රතුපස්වල ඝාතනය වගේ සිදුවීම් ගණනාවක් තිබෙනවා. රතුපස්වල ඝාතනයයි, රඹුක්කන ඝාතනයයි අතර වෙනසක් නැහැ. රතුපස්වලදී වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තිබ්බා. මෙතනදී තෙල් ඉල්ලූ ජනතාවට වෙඩි තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ මිලිටරි සංස්කෘතියක් ගොඩනගනවා. මේ යටතේ ගෝඨාභය රාජපක්ෂ විශ්වාසය තබන්නේ මිලිටරිය ගැන පමණයි” ජාතික ජන බලවේගයේ නීතිඥයෝ නියෝජනය කරමින් නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කරනවා.

“පොලිස් නිලධාරීන් කිසි බයක් සැකක් නැතිව නිරායුධ මිනිසුන්ට වෙඩි තියන්නේ නැහැ. ඔවුන් මේක කරන්න පෙළඹෙන්නේ ඉහළින් අණත් එක්ක ‘අපි උඹලව බේරගන්නවා’ කියන පෙළඹවීමත් එක්කයි. මනුෂ්‍ය ඝාතනයක් කළාට පස්සේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, නාමල් රාජපක්ෂ ශෝක ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මේවා ඉහළ තැනකින් ලැබෙන විධානයන් අනුව කරන සාහසික අපරාධ. සමාජයේම ජීවත්වෙන පොලිස් නිලධාරීන් තුවක්කු උස්සන්න නිරායාසයෙන් පෙළඹෙන්නේ නැහැ. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් සහ සමාජ ආරක්ෂන වශයෙන් ඇතිවී තිබෙන ව්‍යසනයට ගොදුරුවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වශයෙන් පත්කරන්න ක්‍රියාකළ විශාල පිරිසක්. විශේෂයෙන්ම උගත්තු කියන කොටසත් ඉතාමත්ම අසික්ෂිත විදිහට ගෝඨාභය චරිතය පිම්බුවා. ඔවුන් මේ සම්බන්ධ වගකීම් භාරගන්න ඕනෑ. ලක්ෂ හැටනවයක් ඡන්දය දුන්නේ වියත්තු කියන කොටස සහ වෘත්තිකයන් නිසයි. ගෝඨාභය රාජපක්ෂ ගැන සමාජය දැක්කේ කොළඹ නගරයේ පේමන්ට්වල ගල් අල්ලපු එකෙන්. අයියා සල්ලි දුන්නා. මල්ලී මේ වැඩටික කළා. පාර දෙපැත්තේ මල් පෝච්චි තියලා ගල් ඇල්ලුවා. පාරේ ගල් අල්ලලා පාර දෙපැත්තේ මල් හිටෙව්වාම ජනාධිපතිකම කරන්න සුදුසුයි කියලා මේ රටේ මිනිස්සු හිතුවා. මෙන්න මෙතනයි වැරදිච්ච තැන. මේ වැරැද්ද සමාජයට නිවැරදි කරන්න ඕන නැද්ද? මේ ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් තිබෙන සුජාතභාවය දැන් ඉවරයි.

රට පුරා තිබෙන්නේ කවුරුවත් මෙහෙයවන උද්ඝෝෂණ නොවෙයි. තෙල් ගහගන්න එන මනුස්සයාට තෙල් නැතිවෙන කොට පාර හරස් කර, උද්ඝෝෂණ කරනවා. ගෑස් පෝලිමේ කෙනා ගෑස් නැතිව උද්ඝෝෂණය කරනවා. මේවා ජනතාව ගෙන්ම එන උද්ඝෝෂණ. ඔය උද්ඝෝෂණවලට සහභාගීවන තුනෙන් දෙකක් ගෝඨාභයට ඡන්දය දුන් මිනිස්සු. ගෝඨාභයට තිබුණු ජනවරම දැන් අවසන්. මේ ආණ්ඩුවට තිබුණු ජනවරම දැන් අවසන්. දෙයියන්ගේ නාමයෙන් දැන් ආණ්ඩුව අයින් වෙන්න ඕනෑ. මේ රට දැන් අපේ දරුවන්ට ජීවත් වෙන්න තියෙන්න ඕනෑ. අපි රටකින් රටකට මාරුවෙන්න ආව මිනිස්සු නොවෙයි. දැන්වත් කරුණාකරලා මෙතනින් අයින් වෙන්න. නැත්නම් මේ රට මීට වඩා ඛේදාන්තයකට යන්න පුළුවන්” බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කරනවා.

“මේ පවුලට තවදුරටත් රට විනාශ කරන්න දෙන්න බෑ” – ආචාර්ය හරිනි අමරසූරිය

0

ගෙවී ගිය අවුරුදු දෙකකට වැඩි කාලය තුළ රාජපක්ෂවරුන්ගේ භාවිතය වෙනස් කරලා නැති බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය කියන්නේ. රාජපක්ෂ පවුල යනු කිසිම හිතක් පපුවක් නැති පවුලක් බව ඇය පවසනවා. මන්ත්‍රීවරිය කියා සිටියේ මේ පවුලට තවදුරටත් මේ රට විනාශ කරන්න දෙන්න බැරි බවයි. බලයට ආව හැම මොහොතකම රාජපක්ෂ පවුල හැසිරුණේ රට තමන්ගේ බූදලයක් හැටියට සලකමින් බවයි . එම පවුලට යාන්තම් හෝ සම්බන්ධ අය හැසිරෙන්නේ මේ ආකාරයට බව ආචාර්ය හරිනි අමරසූරිය කියනවා. මේ වනවිට රටේ මිනිස්සු පාරට බහින්නේ අතිශයින්ම සාධාරණ හේතූන් මත බවයි ය සඳහන් කරන්නේ.

“රඹුක්කන වෙඩි තැබීමෙන් මිය ගිය චමින්ද ලක්ෂාන්ගේ පවුලේ සියලු දෙනාට පළමුවෙන්ම අපේ සංවේගය ප්‍රකාශ කරනවා. රෝහල් ගතකර සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධියෙන් කම්පනයට පත්ව ඉන්න රඹුක්කන ජනතාව එක්ක අපි හිටගන්නවා. රාජපක්ෂවරුන්ගේ අත් ලේවලින් පිරිලා තිබෙන්නේ. ඔවුන්ට එවැනි ප්‍රචණ්ඩ ම්ලේච්ඡ ඉතිහාසයක් තියෙන්නේ. ඒ සිද්ධීන් එකක්වත් අපිට අමතක වෙලා නැහැ. රතුපස්වල වගේම උතුරු නැගෙනහිර අම්මලා අවුරුදු ගණනක් තිස්සේ හෙළක කඳුළු අපි දන්නවා. කප්පම් සිද්ධිවලින් මරණයට පත්කළ තරුණයන් ගැන අපිට අමතක වෙලා නැහැ. අද ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්න ගෝඨාභය තමයි විදෙස් මාධ්‍යවේදියෙක් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන ඇහුවාම ඒ කවුද කියලා ඇහුවේ. ගාලු මුවදොර පිටියේ මිනිසුන්ව එල්ලනවා කිවූ එක්කෙනෙක් අද ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්නේ. මේකතමයි ඔවුන්ගේ සංස්කෘතිය” යයි ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

“ගෙවී ගිය අවුරුදු දෙකකට වැඩි කාලය තුළ ඔවුන්ගේ භාවිතය වෙනස් කරලා නැහැ. කිසිම හිතක් පපුවක් නැති පවුලක් මේක. මේ පවුලට තවදුරටත් මේ රට විනාශ කරන්න දෙන්න බැහැ. බලයට ආව හැමමොහොතකම රාජපක්ෂ පවුල හැසිරුණේ රට තමන්ගේ බූදලයක් හැටියට සලකලයි. ඒ පවුලට යාන්තම් සම්බන්ධ අය හැසිරෙන්නේ මේ විදිහට. මේ වනවිට රටේ මිනිස්සු පාරට බහින්නේ අතිශයින්ම සාධාරණ හේතූන් මත. දරුවන්ට කන්න දෙන්න බැරි නිසා, කිරිපිටි ටිකක් සොයාගන්න බැරි නිසා, ත්‍රීවිල් එක දුවන්න පෝලිමේ ඉන්න සිදුවීම මේ සියලුදේම දරාගන්නේ කොහොමද? ඔවුන්ගේ දුක, වේදනාව තේරුම් ගන්න බැරි පාලකයන්ගෙන් කිසිවැඩක් නැහැ. ප්‍රශ්න දරාගන්න බැරිව එළියට බහින ජනතාවට තුවක්කුව එල්ල කරන්නේ තමන්ගේ බලය පිළිබඳව විතරක් හිතන, බලය පිළිබඳව කෑදරකමින් ඉන්න පවුලක් නිසා. ඒ පවුලට තවදුරටත් මේ රටත් මේ රටේ ඉන්න මිනිසුන්වත් විනාශ කරන්න දෙන්න අපි සූදානම් නැහැ. රටේ පැනනැගී තිබෙන විරෝධයෙන් මිනිස්සු කියන්නේ මොකක්ද කියලා දැන්වත් තේරුම් ගන්න ඔවුන් දෙන සීනිබෝලවලින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

අලුත් කැබිනට් එකක් කියලා පත්කළාට මිනිස්සු අහුවෙන්නේ නැහැ. සමාජ මාධ්‍යවල තිබුණේ ‘ආපිකෝ එකෙන් ගත්ත එකෙන් ගත්ත කැබිනට් එක වෙනුවට දැන් දම්රෝ එකෙන් ගත්ත කැබිනට් එකක් තිබෙන්නේ’ කියලා. මිනිස්සු මේවා විහිලුවට ලක්කරනවා. මේ රටේ ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් අපි ආයාචනයක් කරන්න කැමතියි. ඔබලාගේ පවුල්වලටත් ඔබලාටත් ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා කරුණාකරලා ජනතාව වෙතට තමන්ගේ තුවක්කුව හරවන්න එපා. ත්‍රිවිධ හමුදාවට පොලිසියට අණ පිළිපදින්න උගන්වලා තිබෙන්නේ. නමුත් මේ වෙලාවේ ඔවුන් ජනතාව එක්ක හිටගන්නවාද නැද්ද කියලා තෝරා ගැනීමක් කරන්න වෙනවා. මේ ජනතාව අරගල කරන්නේ ඔබගේ ප්‍රශ්න වෙනුවෙනුත් කියලා යුද හමුදාවේ ඉන්න අයටත් පොලිසියටත් අපි මතක් කරන්න කැමතියි. තුවක්කුව වැරදි පැත්තට හරවන්න එපා.

මේ වෙනකොටත් IMF එක වැනි ආයතන එක්ක ආණ්ඩුව සාකච්ඡා කරමින් ඉන්නවා. අපි ඔවුන්ටත් මතක් කරලා දෙන්න කැමතියි, ජනතා පරමාධිපත්‍ය බලය සියල්ලට වැඩිය ඉහළයි කියලා. ඔබ මේ ගනුදෙනු කරන්නේ පරමාධිපත්‍යය බලය නැති ආණ්ඩුවත් එක්ක. ආණ්ඩුව තවදුරටත් මේ රටේ මිනිසුන්ව නියෝජනය කරන්නේ නැහැ. ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. මොකක් හෝ කරළා බලයේ ඉන්න දඟලන ම්ලේච්ඡ නපුරු පවුලක් එක්ක ගනුදෙනුකර ඒ බලය රැකගන්න මුහුනොවෙන්න කියලා අපි යෝජනා කරනවා” යි ඇය පවසනවා.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිවරයාට ලිපියක්

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත අන්තර්වාර ආණ්ඩුවක් පත් කිරීමට තමන් අපොහොසත් වුවහොත් හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගත යුතු බව දන්වා ඇති බව වාර්තා වෙනවා. කොටුව, ජනාධිපති මන්දිරයේ පවත්වාගෙන යන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරුන් අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි වාර්තා වෙන්නේ.

නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ අන්තර්වාර රජයක් පත් කරන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිඳිගොඩ, කුමාරසිරි රත්නායක, කේපී එස් කුමාරසිරි, රාජිත වික්‍රමසිංහ, අකිල එල්ලාවල, ලලිත් එල්ලාවල, අජිත් රාජපක්ෂ, උපුල් ගල්ලපති සහ සුදත් මංජුල යන මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම කර තිබෙන බව කියනවා.

අප්‍රේල් 21 වෙනුවෙන් ජාතික ජන බලවේගය අද (21) මීගමුවට

0

2019 අප්‍රේල් 21 වන දා පාස්කු දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර තුනක් ගතවීම පිළිබඳව රැළියක් සහ පාගමනක් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබෙනවා.

‘සත්‍යය ප්‍රේමයෙන් කතා කරමු. යුක්ති ධර්මය උදෙසා නොබියව නැගී සිටිමු’ යනුවෙන් නම්කර තිබෙන එම පාගමන ආරම්භ වන්නේ මීගමුව මාරිස්ටෙලා විදුහල අසලින්. ඒ අද (21) සවස 12.30ට යි.

පාගමන අවසානයේ රැළිය පැවැත්වෙන්නේ ප. ව. 2.00ට මීගමුව ලේයිටන් ක්‍රීඩා පිටියේදී යි.

“25 වනතෙක් ගෑස් නෑ” – ලිට්‍රෝ සමාගම

0

තොග නොමැති වීම හේතුවෙන් ලබන 25 වනදා දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි බව ලිට්‍රෝ සමාගම පවසනවා.

කෙසේ වුවද ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයීම ලිට්‍රෝ සමගාම නවතා දමනු ලැබුවේ පසුගිය 12 වනදා සිටයි.

ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙකු පවසා සිටියේ එළඹෙන 25 වනදා හා 26 වනදා ගෑස් මෙට්‍රික් ටොන් 3600 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට සේන්දු වීමට නියමිත බවයි.

ඉන් අනතුරුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් යළි නිකුත් කිරීමට හැකි වන බව ලිට්‍රෝ සමාගම පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් කර්මාන්ත ශාලා, රෝහල්, ආදාහනාගාර වැනි අත්‍යශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩ සිදු කරන බව ද ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටිනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර තුනයි

0

පුද්ගලයන් 279 දෙනෙකුට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා දිනය වූ අප්‍රේල් 21 එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය ට අදට (21) වසරක් තුනක් වනවා.

මෙම සමූල ඝාතනයේ පළමු හැඟීම වූයේ එය තනිකරම ඉස්ලාමීය අන්තවාදීන් කිහිප දෙනෙකුගේ ත්‍රස්ත ක්‍රියාවක් බවයි. එහෙත් පසුකාලීන විමර්ශනවලින් පෙනී යමින් තිබෙන්නේ මෙම සංහාරය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවයි. එය ප්‍රහාරයේ බහුතර වින්දිතයන් බවට පත් වූ කතෝලික ප්‍රජාවගේත් හැඟීමයි. විශ්වාසයයි.

2019 අප්‍රේල් 21 දින කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව, සියොන් දේවස්ථානය සහ අගනුවර තරු පන්තියේ හෝටල් තුනක් ඉලක්ක කරගත් ප්‍රහාර එම වසරේ නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය කිරීමට උපකාරී වූ බවයි මේ වන විට කතෝලික ජනයාගේ චෝදනාව වන්නේ.

ජීවිත අහිමි කළ මෙම ප්‍රහාරය “බිහිසුණු අපරාධයෙන් වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එම පාස්කු ඉරිදා සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව අප තවමත් සිටින්නේ අඳුරේ” බවයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පවසන්නේ.

“විපක්ෂ නායක කියන්නේ ටොන් පච” – කතානායක

0

පක්ෂ නායකයන් එකඟ වන්නේ නම් ජනපති ඉවත්වීමට සූදානම් යැයි තමා නොකියූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

තමා එවැනි කතාවක් කීවේ යැයි සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයක් මාධ්‍යයේ යන බව කී කතානායකවරයා එය අසත්‍යක් බව ද සඳහන් කර සිටියා.

කතානායක:-

“113ක් ආවොත් ආණ්ඩුව දෙන්න සූදානම් බවයි ජනාධිපතිතුමා පැවසුවේ. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියන්න පාර්ලිමේන්තුවේ 225ටම බලයක් නැති බව ඔබතුමා තේරුම් ගන්න”

විපක්ෂ නායක :-

“මා ඉදිරිපිට දිනේෂ් ගුණවර්ධන හිටියා. ඔබතුමා එවැනි කතාවක් කිව්වා.ඔබතුමා වැරදි විග්‍රහයක් කරනවා.මෙතන පැමිණ මා පැවසූයේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔබතුමා කියූ දෙයයි. ඒ වගේ කතා දැන් කියන්නෙපා.ඔබ තුමා කතානායක නෙවෙයි. පචයෙක්.”

කතානායක:-

“ටොන් පච කියන්නේ ඔබයි.”

විපක්ෂ නායක :-

“මට කිසිම උවමනාවක් නැහැ බොරු කියන්න. ඔබතුමා ඒ ප්‍රකාශය කළ විට මා වෙලාවක් අරන් දෙන්න කිව්වා. ඔබ තුමා කියූ දේ විකෘති කර කතා කරන්න තරම් මා මෝඩයෙක්ද?”

ලක්ෂ්මන් කිරිඇල්ල :-

“ජනාධිපතිතුමාට තිබෙන ප්‍රශ්නය වන්නේ එතුමා ගියොත් ඉදිරියට වන්නේ කුමක්ද යන්න බවත් පක්ෂ නායකයන් කියනවා නම් අස්වෙන්න සූදානම් බවත් ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී පැවසුවා.”

කතානායක:-

“ජනාධිපති තුමා කිව්වේ සිය 113 පෙන්නුවොත් ආණ්ඩුව දෙන්නම් කියලා.”

ලක්ෂ්මන් කිරිඇල්ල :-

“අපිට එතුමා ආණ්ඩුව දෙන්න ඕන නෑ. ගන්න පුළුවන්. අපට 113 තියෙනවා.”

“ණය ලබාදීමට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍යයි” – IMF

ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් ණය මුදලක් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි බවට “ප්‍රමාණවත් සහතිකයක්” අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ශ්‍රී ලංකා රාජ තාන්ත්‍රික කණ්ඩායම සමග ණය ලබාදිය හැකි ආකාරය හා කොන්දේසි පිළිබඳ ඊයේ (19) සාකච්ඡා කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගෙවුම් ශේෂය හිඟය මග හරවා ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි තිරසාර මාවතකට හැකි ඉක්මනින් යොමුකිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහයෝගයෙන් වැඩසටහනක් අවශ්‍ය බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලාංකික ජනතාව අත්විදින දුෂ්කරතා විශේෂයෙන් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි පාර්ශව අත්විඳින දුෂ්කරතා පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව මසයිරෝ නොසාකි පවසා සිටිනවා.