Home Blog Page 137

“රඹුක්කන සිදුවීම ගැන සංවේගයට පත්වෙනවා” – ජනපති

0

සාමකාමීව විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතියට බාධාවක් නොවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහතික වෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ රඹුක්කන ප්‍රදේශයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකරන බවයි.

රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් සිදුවූ ඛේදවාචකය පිළිබඳව තමන් දැඩි කණගාටුව පළ කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

විරෝධතාවයේ නිරත වීමේදී ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා තම ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබෙනවා.

විරෝධතාවට එල්ලවන බලපෑම් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

0

කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාවයේ කටයුතු නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පියවර ගෙන තිබෙනවා.එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මානව හිමිකම් කොමිසමේ විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයේ අදාළ නිරීක්ෂණ කටයුතුවල නිරතවන බවයි.

අදාළ විරෝධතාවය සාමකාමීව පැවැත්වෙන්නේ ද යන්න සම්බන්ධයෙන් සහ ඊට යම් යම් පාර්ශවවලින් බලපෑම් එල්ල වන්නේ යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

මේ අතර එම විරෝධතාවයට යුද හමුදාවේ පිරිසක් පුහුණුකර එවීමට සූදානම් බවට ඊයේ (16) දිනයේ පැතිර ගිය පුවත සම්බන්ධයෙන් සොයාබැලීමට ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව කොමිසමේ නිලධාරීන් පිරිසක් ඊයේ ගනේමුල්ල හමුදා කඳවුරට ගොස් එහි එවැනි සූදානමක් පවතින්නේ ද යන්න පිළිබඳ සොයාබලා තිබෙනවා.

සීනි බදු වංචාවෙන් අහිමි වූ ආදායම යළි අයකර ගන්න – ජාතික විගණන කොමිසම

0

සීනි බද්ද අඩු කිරීම මගින් රජයට අහිමි වූ බදු ආදායම, එම වාසිය ලබාගත් පාර්ශවයන්ගෙන් නැවත අය කර ගත යුතු බව ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කර තිබෙනවා.

2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට එතෙක් සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩුකිරිමට රජය පියවර ගත්තා.

මෙම විගණනයෙදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කළ 2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා වූ මාස 04ක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763 ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.

අදාල කෙටි කාලසීමාව තුළ පමණක් ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදීගෙන අඩු මිලට අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 102ක පමණ අලාභයක් වාර්තා වුණා.

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තොබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වා වූ මාස කිහිපය තුළ පමණක් පිරමිඩ් විල්මා ආයතනයේ සිනි ආනයනය සියයට 1,222 කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මෙලෙස සීනි සඳහා වූ බදු අඩු කිරීමෙන් රජය අපෙක්ෂා කළ පාරිභෝගික සහන සැලසිමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළෙඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසියක් උදාකර ගෙන ඇතැයි විගණන කාර්යාලය තවදුරටත් අනාවරණය කර තිබෙනවා.

විගණන කාර්යාලය නිර්දේශ කර ඇත්තේ සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපෙක්ෂව එම වාසිය පාරිභෝගිකයින් වෙත විතැන් නොකර තමන් අත රඳවා ගත් පාර්ශව නිසි පරිදි හඳුනාගෙන එම ආර්ථික වාසිය ජනතාවට ලබාදීම පිළිබඳව අවධානය යොමු කිරීමත්, එසේ නොමැතිනම් රජය කැප කළ බදු අදායම තමන් වෙත රඳවා ගත් පාර්ශව වලින් යළි රජයට ලබා ගැනිමේ හැකියාව පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවයි.

යුතුකම් ඉටු කරනවා ඇමතිකම් නම් එපා – සරත් වීරසේකර

0

ඉදිරියේ දී පත්කෙරෙන නව කැබිනට් මණ්ඩලයේ තනතුරු භාර නොගන්නා බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියා සිටිනවා.
ට්විටර් පණිවුඩයක් මගින් අමාත්‍යවරයා මේ බව කියා තිබුණා.

”පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළෙමි. මා කවදත් රටේ ඒකියභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර ඉදිරියටත් මගේ යුතුකම රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන බවද ප්‍රකාශ කරමි.” ලෙස හිටපු අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

“ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය අපේක්ෂා කරනවා” – සෞඛ්‍ය අමාත්‍යාංශය

0

මේ වන විට රෝහල්වල පවතින ඖෂධ හිඟය පියවීම සඳහා දානපතියන්ගේ සහය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය පවසන්නේ මේ වනවිට ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ, මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත් පරිදිවන බවයි.

තෙල් පෝලිමක තවත් මරණයක්

0

ඉන්ධන පෝලිමක සිටියදී වාර්තා වූ 5 වැනි මරණය අද (11) උදෑසන ගාල්ල තවලම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එලෙස මියගොස් තිබුණේ බදුවත්ත, හබරකඩ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පොලිසිය පවසන්නේ අදාළ පුද්ලයා අද අලුයම 3.30 ට පමණ ලොරි රථයට ඩීසල් ලබාගැනීමට ඉන්ධ පිරවුම්හල වෙත පැමිණ ඇති බවයි.

පැය ගණනාවක් ඉන්ධන පෝලිමේ සිටි ඔහු රියැදුරු අසුන තුළ මියගොස් සිටියදී සිරුර සොයා ගැනුණු බව පොලිසිය කියා සිටිනවා.

මෘත ශරිරය කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

අගමැතිවරයා අද (11) රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිතයි

0

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (11) රාත්‍රී 7.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.

ඉන්ධන ප්‍රවාහන දුම්රියක තවත් දුම්රියක් ගැටෙයි

0

රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක මගීන් රැගෙන පැමිණි තවත් දුම්රියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

තිරිංගවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද (11) උදෑසන 4.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්ධන දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලක ගැටී තිබෙනවා.

“ගෑස් සිල්ඩර් ලක්ෂයක් වෙළෙඳපොළට” – ලිට්‍රෝ සමාගම

0

දිවයිනට පැමිණි මෙට්‍රික් ටොන් 3 900 ක් රැගත් ගෑස් නෞකාවේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති තෙසාර ජයසිංහ පෙන්වා දෙන්නේ ගතවූ දින තුනක කාලය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ද පියවර ගත් බවයි.

එමෙන්ම හෙට (12) දිනයේද තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණිමට නියමිත බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් අද (11) දිනයේද ගෑස් මිලදී ගැනීම සඳහා වෙළෙඳසැල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා.

“රජය මෙහෙයවන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පිරිසක්” – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

0

‘ශ්‍රී ලංකාවේ වර්තමාන (ආර්ථික) අර්බුදය’ මැයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව සහ එය තමන්ට පැහැදිලි බවයි. පාලනයට එරෙහිව නැඟෙන සාමකාමි විරෝධතා බිඳ දැමීමට රජය හදිසි නීතිය පැනවීම හරහා සිදු කරන ක්‍රියාවලිය තම සංගමය අනුමත නොකරන්නේ මෙවන් අවස්ථාවලදී එම විරෝධතා සඳහා මහජනයාට ඉතා සාධාරණ අයිතියක් ඇති නිසා බව ඔවුන් පවසනවා.

“ශ්‍රී ලංකාව නිදහසෙන් පසු අත්විදින විශාලම ආර්ථික අවපාතය මේ අවස්ථාවේ දී අත්විදිමින් සිටින බව, දීර්ඝ විදුලි කප්පාදු කිරීම්, ගෘහස්ථ ගෑස්, ඛනිජ තෙල් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිගය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉතා විශාල ලෙස වැඩි වීම වැනි කරුණු වලින් පැහැදිලි වන අතර එය දුර්වල රාජ්‍යය පාලනයේ අතුරු ඵලයක් බව ඉතා පැහැදිලි කරුණකි. තමන්ගේ දේශපාලන මතිමතාන්තර අතහැර රට වැසියන් ලෙසින් එක්ව පල කරන විරෝධතා, මෙම ප්‍රශ්නයට ඉක්මන් විසදුම් සෙවීමට රජයට කරන දැඩි බලපෑම මනාව පිළිබිඹු කරයි. මෙම ක්‍රියාවලිය යම්කිසි රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් ලෙස රජය විසින් හුවා දැක්වීම අප දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමු.

මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව අපට පැහැදිලිය. මෙවැනි සාමකාමි විරෝධතා බිඳ දැමීමට රජය හදිසි නීතිය පැනවීම හරහා සිදු කරන ක්‍රියාවලිය අප අනුමත නොකරන්නේ මෙවන් අවස්ථාවලදී එම විරෝධතා සඳහා මහජනයාට ඉතා සාධාරණ අයිතියක් ඇති බැවිනි.

අප ඉතා දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ සියලුම සාමාජිකයන්ගේ උපදෙස් හා යෝජනා ලබා ගැනීම මගින් ඉතා ප්‍රජාතාන්ත්‍රික ලෙස මෙම අර්බුදය හමුවේ විසඳුම් සෙවීම ඉතා වැදගත් බවත්, ඉතාමත් දුර්වල දේශපාලන හා බුද්ධිමය පසුබිමක් ඇති පුද්ගලයන් විසින් මෙම රජයට දුන් උපදෙස් හරහා මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවත්ය. මේ හේතුවෙන් රටේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් පවා සැපයීමට රජයට නොහැකි තත්ත්වයක් උදාවීම අතිශය කනගාටුදායක කරුණකි .

දැනට පවතින ප්‍රධාන අර්බුදය ආර්ථික මෙන්ම මූල්‍යමය වන එකක් බැවින් අප යෝජනා කරන්නේ මෙම කරුණු පිළිබඳව මෙන්ම දේශිය සහ විදේශීය වෙළඳාම පිළිබඳ විශේෂඥ දැනුම ඇති අවංක, කාර්‍යක්ෂම කමිටුවක් විසදුම් සෙවීම සදහා පත් කිරීම වැදගත් බවයි. මේ සඳහා මෙම කමිටුව කඩිනම් අධ්‍යනයක යෙදීම වැදගත් වන අතර එමගින් විධිමත් යෝජනා ඉදිරිපත් කර දැනට රටේ සියලුම කොටස් මුහුණ පා සිටින මෙම දැඩි අර්බුදයෙන් ගැලවීම සඳහා කටයුතු කිරීම මේ අවස්ථාවේදී ඉතාම අත්‍යවශ්‍ය දෙයකි. රජය විසින් සත්භාවයෙන් ආරාධනා කරන්නේ නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විවිධ වෘත්තිකයන්ද මෙම අවස්ථාවේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන බව අපගේ හැඟීමයි.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මෙම අවදානම් සමයේදී මුහුණ දීමට සිදුවිය හැකි සෞඛ්‍යමය ගැටලු විසඳීමට සහාය වීම සදහා අප සංගමය බැදී සිටින බව අපි අවධාරණය කරමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය”