Home Blog Page 135

“වත්මන් අර්බුදය විසඳාගැනීමට වහාම ක්‍රියාකරන්න” – මෙරට ප්‍රධානතම සමාගම් 4ක් කියයි

0

වත්මන් සමාජ, ආර්ථීක, අර්බුදය විසඳා ගැනීම සදහා වහා ක්‍රියාකළ යුතු බව මෙරට ප්‍රධානතම සමාගම් 4ක් අවධාරණය කරනවා. MAS හෝල්ඩින්ග්ස්, ජෝන් කීල්ස් සමූහය, හේමාස් සහ ඩයලොග් සමාගම් මේ බව අවධාරණය කරන්නේ නිවේදන නිකුත් කරමින්.

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන MAS හෝල්ඩින්ග්ස් සමාගම අවධාරණය කරන්නේ සාමකාමී හා තිරසර ක්‍රියාමාර්ග තුළින් වහාම වත්මන් ආර්ථික හා සමාජ ගැටලු විසඳීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. වගකිව යුතු සංවිධානයක් ලෙස යහපාලනය ඇතුළු වෙනස්කම් ඇතිකිරීම සඳහා නීත්‍යනුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග තුළ ජනතාව ජාතික නායකයින්ට නගන හඬට තමන්ද කොන්දේසි විරහිතව සහය දෙන බව ඔවුන් සඳහන් කරනවා.

ජෝන් කීල්ස් ව්‍යාපාරික සමූහය අවධාරණය කරන්නේ රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා හා පීඩනයන් තමන්ට හොඳින් වැටහෙන බවයි. රාජ්‍ය පාලනය වගකීම් සහගත බව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ජනතාව දරණ අදහස් සමඟ තම සමාගම් එකඟ වන බව ඔවුන් පවසනවා. ජනතාව ඉල්ලා සිටින තමන්ද සහාය දක්වන ඉල්ලීම්වලට තිරසර විසඳුමක් ලබාදීමට නිසි පියවර ගන්නා ලෙසත් එසේ නොවුණහොත් සමාජ නොසන්සුන්තාවන් දිගින් දිගටම පැවතීමේ අවදානම පිළිබඳව දැනුවත්ව කටයුතු කරන ලෙසත් රටේ නයාකත්වයෙන් ඉල්ලා සිටින බව ජෝන් කීල්ස් සමූහය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔවුන් අවධාරණය කරන්නේ ආර්ථික යළි ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇති කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශපාලන නායකයින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජෝන් කීල්ස් සමූහය පවසනවා.

මේ සමඟම ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් ජනතාව කරන ඉල්ලීම්වලට තම සමාගම අඛණ්ඩව සහය දෙන බව හේමාස් සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා. ජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දෙන ලෙසත් එකට එක්වී වහාම ගත යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරණ ලෙසත් එම සමාගම ජාතික නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි තම නිවේදනයේ දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ මේ ක්‍රියාමාර්ග තුළින් යහපාලනය දූෂණයෙන් තොර ජනවර්ග වල අයිතිවාසිකම් සුරක්ෂිත කරන හරි මාවතකට රට අවතීර්ණ කරන ලෙසයි.

මේර සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනක් සේ හඳුන්වන ඩයලොග් සමාගමත් පවත්නා අර්බුදකාරී තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යහපාලනයේ ඉහළ තලයකට රට ඔසවා තබමින් වඩාත් විනිවිදභාවයෙන් යුතු දක්ෂතාවන්ට මුල්තැන දෙන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් කරන ඉල්ලීම් සමඟ තමන්ද සිටින බවයි ඔවුන් කියන්නේ. ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ තිරසාර අනාගතයක් වෙනුවෙන් ආර්මාර්ථකාමීත්වය පසකලා එකට එක්වී යහපත් සහ ප්‍රගතිශීලි ක්‍රියමාර්ග ගෙන උද්ගත වී ඇති අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලය ඇති සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ඩයලොග් සමාගම සඳහන් කරනවා.

මාර්තු මාසයේ උද්ධමනය 21.5% ක් දක්වා ඉහළට

මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය සියයට 21.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේම ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව ආහාර උද්ධමනය 29.5% ක් වන අතර, ආහාර නොවන උද්ධමනය 14.5% ක් බවයි.

අදාළ නිවේදනය –

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් කොස්ගොඩින් සොයා ගැනේ

0

වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පුද්ගල මළ සිරුරක් කොස්ගොඩ, දිවියාගල ප්‍රදේශයේදී තිබියදී සොයා ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ ලඳු කැළෑවක තිබියදී යි.

ජීවිතක්ෂයට පත්ව ඇති තරුණයා 28 හැවිරිදි බලපිටිය, පාතේගම ප්‍රදේශයේ පදිංචි අයකු බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති බව පොලිසිය පෙන්වා දෙනවා.

විජිත බේරුගොඩට එදා එකක් අද තව එකක්

0

මොනරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මීට සුළු මොහොතකට පෙර මහා මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ නැවත දිවුරුම් දී තිබෙනවා.

කෙසේ වුවද පසුගිය 19 වනදා ඔහු වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව එම අමාත්‍යංශයේ වැඩ භාරගනීම සිදු කෙරුණේ පෙරේදා (20) දිනයේ යි.

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව සම්මතයි

0

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව ඒකමතිකව සම්මත වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ අද (21) පස්වරුවේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත වූ බවයි ඔවුන් කියන්නේ.

රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණ දිය යුතු බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යායුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මෙම රැස්වීමේ දී යෝජනා කර තිබෙනවා. රැස්වීමට සහභාගී වූ සියලුම මන්ත්‍රීවරුන් ඉහළට අත් ඔසවමින් එම යෝජනාවට ඒකමතිකව සහය පළ කළ බව පවසන් මාධ්‍ය නිවේදනය කියන්නේ එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී යූ. කේ. සුමිත් විසින් ස්ථිර කළ බවයි.

ඉදිරි සති කිහිපය තුළ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබා දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී විෂය භාර අමාත්‍යවරු විසින් පැහැදිලි කරනු ලැබූ බවයි කිඋයන්නේ.

“විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ සති කිහිපයක් ඇතුළත ඉන්ධන සහ විදුලි කප්පාදු ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය. ගෑස් ගැටළුවද සති කිහිපයක් ඇතුළත විසඳිය හැකි බව අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කියා සිටියේය.

උද්ගත වූ තත්ත්වයත් සමඟ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අමාත්‍යධුර වලින් ඉවත්ව ලබා දුන් සහයෝගයට පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ ස්තූතිය මෙහිදී පිරිනැමිණි.

නවක අමාත්‍යවරුන්ට ශක්තිමත්ව ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍යය සහයෝගය ලබාදෙන බවට මන්ත්‍රීවරු මෙහිදී පැවසූහ.

ආණ්ඩුව අස්ථාවර බවට ගෙන යන වැරදි ප්‍රචාර තුළින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීමට යම් යම් පිරිස් කටයුතු කරගෙන යන බවද ආණ්ඩුව අස්ථාවර වීමට පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කිසිසේත් ඉඩ නොතබන බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මෙහිදී අග්‍රාමාත්‍යතුමාට විශ්වාසය පළ කළහ.

ආණ්ඩුව ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි මන්ත්‍රීවරු මෙහිදී ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරු සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක ඇතුළු පිරිසක් සහභාගී වූ බව මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

“පවත්නා පාලකයන් හා පාලනය අවසන් කිරීම අපේ වගකීමක්” – සරත් ඉද්දමල්ගොඩ පියතුමන්

0

පවත්නා පාලකයන් සහ පාලනය අවසන් කිරීම අපේ වගකීමක් බව සරත් ඉද්දමල්ගොඩ පියතුමා පවසනවා. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ‘සත්‍යය ප්‍රේමයෙන් කතා කරමු. යුක්ති ධර්මය උදෙසා නොබියව නැගී සිටිමු’ යනුවෙන් සංවිධානය කළ පාගමන අවසානයේ පැවැත්වෙන රැළිය අමතමින්. මීගමුව මාරිස්ටෙලා විදුහල අසලින් ආරම්භ වූ පාගමන අවසානයේ රැළිය පැවැත්වෙන්නේ මීගමුව ලේයිටන් ක්‍රීඩා පිටියේදී යි.

“මේ අයගේ අත්දැකීම්, මේ අයගේ පීඩාව මම හොඳටම දන්නවා. පසුගිය කාලය තුළ විවිධ ආණ්ඩු රට පාලනය කළා. එක්තරා වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු කළා. තවත් වෙලාවක එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කළා. මේ දෙගොල්ලොම යටතේ මේ රටේ ජනතාව පීඩාවට ලක්වුණා. එක්තරා කාලයක නිල පාටයි රතු පාටයි එකට එකතුවෙලා රට පාලනය කළා. ඒත් ටත්වය වෙනස් වුනේ නැහැ. ආණ්ඩු එනවා ආණ්ඩු යනවා ජනතාව දිගටම පීඩාවට පත් වෙනවා. එවන් තත්වයක් තමයි අපි දිගටම අත්වින්දේ.

දිගින් දිගටම ඒ පීඩාව තියෙද්දී අවුරුදු තුනකට කලින් තවත් පීඩාවක් ගෙනාවා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය. තින්සිය ගණනක් මිය ගිහින් තියෙනවා. තව සිය ගණනක් ජීවිතය පුරා ආබාධිතයන් බවට පත්වෙලා තියෙනවා. ඒක මාරාන්තික සිදුවීමක්. දැන් ඉතින අපි යුක්තිය ඉල්ලනවා ඒ වින්ධිතයන් වෙනුවෙන්, ඒ අයගේ පවුල් වෙනුවෙන්. ඔබලා විශ්වාස කරනවද කවදාක හෝ මේ පාලකයන් හෝ මේ පාලනය මේ ජනතාවට යුක්තිය ඉටු කරයි කියලා. නැහැ, කවදාවත් ඒ අය ඒක ඉටුකරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ඒ වගකිවයුත්තන්, මේ ප්‍රහාර මෙහෙයවපු අය, මේ පරීක්ෂණ කරපු අය මේ පරීක්ෂණ යට ගහලා මේ වගකිවයුත්තන් කව්ද කියන එක හංඟනවා. ඔවුන් සඟවනවා මේ මහ මොළකරු.

ඒ නිසා මේ ආණ්ඩුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටුවෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.

මේ වින්ධිතයින්ට යුක්තිය ඉටුවෙන්න නම් මේ පාලකයන්ව ගෙදර යවන්න ඕනේ. මේ පාලකයන්ට ඉල්ලා අස්වෙන්න කියලා කියන්නම ඕනේ. ඔවුන් ඉන්නතාක් ජනතාවට යුක්තිය ඉටු වෙන්නේ නෑ.

ඔබ හොඳටම දන්නවා මේ ඝාතකයන් පළමුව කළ ඝාතනය පාස්කු ඉරිදා බෝම්ම ප්‍රහාරය නොවන බව. ඊට කලින් මාධ්‍යකරුවන්ව ඝාතනය කළා. ප්‍රවීණ ක්‍රීඩකයින්ව ඔවුන් ඝාතනය කළා. මේ පාලකයෝ යුද්ධයක් ඇවිලෙව්වා. දේශපාලන විසඳුමක් දීමට අවස්ථාව තියෙද්දී යුද්ධයක් අවුලලා දහස් ගණන් දෙමළ ජනතාව මරලා දැම්මා. ඒ, බලයේ ඉන්න.

මේ පාලකයන්ට අවශ්‍ය වෙන්නේ බලය විතරයි. ඔවුන්ට යුක්තිය ඕනේ නැහැ. සාධාරණත්වය ඕනේ නැහැ. බලය සඳහා ඕනෑම වරදක්, ඕනෑම ඝාතනයක් කරන්න ඔවුන් බය වෙන්නේ නැහැ. ඔබ කැමතිද එවැනි පාලනයක් යටතේ ජීවත් වෙන්න. ස්ථීර වශයෙන්ම ඔබ කැමතිත් නැහැ, මම කැමතිත් නැහැ. ඒ නිසා මේ රාජපක්ෂ පාලනය ශ්‍රී ලංකාවෙන් දුරු කිරීම සඳහා, එලවා දැමීම සඳහා අපි ක්‍රියාමාර්ග ගත යුතුමයි.

අපි කිතුනුවන් හැටියට කොහොමද පාපය දුරු කරන්නේ; ඒ අර්ථයෙන්ම රාජපක්ෂ පාලනයත් මහා පාපයක්. ඒ නිසා අපේ අධ්‍යාත්මික ජීවිතය තුර පාපය දුරු කරනවා මෙන්ම කටුවාපිටිය, කොච්චිකඩේ, මඩකලපුව වගේම කොළඹ සිදු කළ පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු මහමොළකරුවන්ව හංඟන මේ නායකත්වය පලවාහැරිය යුතුමයි.

මේ පාලනය දුරු කරන්න බැහැ මහා ජනතා බලවේගයක් නැතුව. ඊට ජනතා බලවේගයක් අවශ්‍යයි.

මම සෑහෙන කාලයක් ජනතාවගේ බලය සවිමත් කරන්න උත්සහ ගත්ත කෙනෙක්. හැබැයි මම අසාර්ථකයි.එහෙම ජනතා බලවේගයක් අපේ ජීවිත කාලය තුළ ඇතිවුණේ නැහැ. අද වෙනකොට එවැනි ජනතා බලවේගයක් ලෙස තියෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. අපි ඒ බලවේගය සමඟ එකතු වී මේ මොහොතේ ප්‍රධානම කාර්යය වන මේ දුෂ්ඨ පාලනය අතුගා දමමු”යි සරත් ඉද්දමල්ගොඩ පියතුමා පැවසුවා.

රඹුක්කන සිදුවීමේ විමර්ශන CID භාරයට

0

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර පොලීස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන දින 03ක් ඇතුලත අතුරු වාර්තාවක් ලබා දෙන ලෙසයි.

එසේම මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කරන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන මෙන් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

අදාළ නිවේදනය –

මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

0

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ තෝරාගෙන තිබෙනවා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ පැවති තරගයකදී ආබාධයකට ලක්වූ නවසීලන්ත ජාතික වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේගේ පුරප්පාඩුව පිරවීම සඳහායි.

ඒ අනුව මතීෂ පතිරණ ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී ඇති අතර ඔහු දින කිහිපයක නිරෝධායන කාලය නිමාවීමෙන් අන්තුරුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

“අයුතු ලෙස උපයාගත් වත්කම් ඇත්නම් නඩු දාන්න” – නාමල් රාජපක්ෂ

0

තම සියලු වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
අද (21) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටි වසර 12 දීම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බවද නාමල් රාජපක්ෂ පැවසුවා.

තමා හෝ පවුලේ ඕනෑම කෙනෙකු අයුතු ලෙස උපයාගත් ධනයක් ලෝකයේ ඕනෑම රටක තිබේනම් නඩු දමන්නැයි ද 2015ට පෙරත් මෙවැනිම චෝදනා කළ බවද නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවා.

මුහුණු ආවරණ ඉවත් කිරීමේ තීරණය අත්හිටුවයි

0

මුහුණු ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පසුගියදා සඳහන් කර සිටියේ පොදු ප්‍රවාහනයේදී හා ගෘහස්ත උත්සව අවස්ථාවලදී හැර අනෙකුත් අවස්ථාවලදී මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවයි.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තීරණය වෙනස් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නව නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ, මේ දිනවල පැවැත්වෙන මහජන ඒකරාශීවීම් සැලකිල්ලට ගනිමින් මුහුණු ආවරණ ඉවත් කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ඒ අනුව පෙර පරිදි එළිමහන් ස්ථාන හා පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.