“රාජ්‍ය නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වෙන්නේ නෑ” – කාදිනල් හිමි

මෙරට ඉතිහාසයේ පළමු වතාවට මෙරට කිතුණු ජනයාගේ ආධ්‍යාත්මික නායකත්වය විසින් නිල වශයෙන්ම රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට සහභාගී වීමෙන් වැළකී සිටින්නට තීරණය කර තිබෙනවා.

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි පවසා ඇත්තේ හෙට (04) පැවැත්වෙන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි.

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට අදාලව නිර්දෝෂී පුද්ගලයින් තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට විරෝධය පළකරමින් උන්වහන්සේ විසින් එම තීරණය ගත් බවයි කොළඹ අගරදගුරු පදවිය පවසන්නේ.

“74 වන නිදහස් දිනයට සමගාමීව හෙට පැවැත්වීමට නියමිත රාජ්‍ය නිදහස් උළෙල සදහා අගරදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා” යි අද (03) පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළා.

සිරිල් ගාමිණි පියතුමන් කියා සිටියේ බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවැත්වීමය නියමිත වූ නිදහස් දින දිව්‍ය පූජාවද එහි නොපැවැත්වීමට කාදිනල්හිමියන් පියවර ගෙන ඇති බවයි.

“අහිංසකයන්ට වධ හිංසා පමුණුවන ලබන ඔවුන් තලා පෙළා දමන පාලනයක් තුළ විශේෂයෙන්ම බෝම්බයක් අටවා තිබූ දේවස්ථානයක් තුළ ඉන් වේදනාවට පත්ව සිටින ජනතාව සිටින වටපිටාවක් තුළ එහි දිව්‍ය පූජා යාගයක් නොපැවැත්වීමට කාදිනල් හිමිපාණන් තීරණය කළා” යි සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියා.

එසේ වුණත් අනෙකුත් සෑම දේවස්ථානයකම නිදහස් දින වෙනුවෙන් දිව්‍ය පූජාවන් පවත්වනු ලබන අතර රට වෙනුවෙන් යාච්ඤා කිරීමට කටයුතු කරනු ලබන බවත් උන්වහන්සේ පැවසුවා.

POPULAR

Recent articles