“ජන ජීවිතය හා ආර්ථිකය ආරක්ෂා කිරීමට ආණ්ඩුව හා අත්වැල් බැඳගැනීම විපක්ෂයේ යුතුකමයි” – දිනේෂ් ගුණවර්ධන

ජන ජීවිතය සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය හා අත්වැල් බැඳගැනීම විපක්ෂයේ යුතුකම බවයි සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරන්නේ. ඔහු කියන්නේ ආණ්ඩුව පෙරළීම ම විපක්ෂයේ කාර්ය භාරය බව විපක්ෂය සිතාගෙන සිටින බවයි. වෙනත් රටවලදී නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ එයාකාරයෙන් අත්වැල් බැඳගැනීම මත බවයි අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

“ලෝකය මුහුණු දුන්න ලොකුම අර්බුදයක් තමයි කෝවිඩ් අර්බුදය. දෙවන ලෝක යුද්ධ සංග්‍රාමය කාලේ අද ජීවත් වන 90% ක් ජීවත් වුණේ නැහැ. දෙවන ලෝක සංග්‍රාමය කාලෙත් සියලු දෙනා ජාතික වශයෙන් රටත් ජාතියත් ආරක්ෂා කරන්න අත්වැල් බැඳගත්තා. එකට ආණ්ඩුවෙ සිටියේ නැති වුණාට අත්වැල් බැඳගෙන වැඩ කළා. ඒ නිසයි අපිත් දැන් එකතු වෙන්න ආයාචනය කරන්නේ. මොකද දෙවන ලෝක සංග්‍රාමයටත් වඩා භයානක තත්ත්වයක් තමයි මේ කෝවිඩ් සංග්‍රාමය. මේ ජන ජීවිතය හා ආර්ථීකයත් ආරක්ෂා කර ගැනීම සඳහා අත්වැල් බැඳ ගැනීමයි, එකට වැඩ කිරිමයි යුතුකම. විපක්ෂයේ ඉන්නවා කියලා ආණ්ඩුව පෙරළන්නම ඕන කියලා හිතාගෙන ඉන්නවනම් ඒ විපක්ෂයේ බලාපොරොත්තුව. නමුත් එකට වැඩ කළොත් ජනතාවට කොයි තරම් සුබසෙතක්ද කියලා කල්පනා කරන්න. මේ වගේ ජාතික ව්‍යසනයන් වලදී අනෙක් රටවලත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන පිළිවෙත අනුව කටයුතු කරන්නේ එයාකාරයෙන්.

සෞභාග්‍යයේ දැක්ම කියන්නේ රටක් සෞභාග්‍ය කරා ශක්තිමත්ව දෙපයින් නැගී සිටීමයි. වෙනත් රටවල්වලට ණය වී නිවට ජාතියක් වීම නොවෙයි. අප එය සාර්ථක කරන්න පුළුවන් රටක්. එය අපි ඔප්පු කරලා තියෙනවා මීට කලින්. මේ රට සහලින් ස්වයංපෝෂිත විය හැකි දේශයක්. ඒ ගැන අපට විශ්වාසයක් තියෙනවා. ජනාධිපතිතුමා ඒ ඉලක්කයට රට ගමන් කරවනවා. මේ දැනට තිබෙන සහල් අර්බුදය, වෙළඳ පොළට සැපයුම පිළිබඳව තිබෙන ප්‍රශ්නයට රජය සක්‍රීයව මැදිහත් වෙන්න තීරණය කරල තමයි වෙළඳ ඇමතිතුමා අප මිත්‍ර විදේශ රටවල් දෙක තුනකින් සහල් දැනට ලබාගෙන වෙළඳ පොළට ලබා දීමේ ක්‍රියාවලියට බැහැල තියෙන්නේ. එය ක්‍රමානුකූලව ලබා දීමට පුළුවන්කම ඇමතිතුමාට තියෙනවා” යි අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles