සම්ප්‍රදායට අභියෝග කරන ජපාන සුමෝ ක්‍රීඩිකාවෝ

වළලුවලින් වට කළ පොරපිටියක එකිනෙකා තල්ලු කර ගනිමින් පොරබදින ගැහැනු ළමයින් දෙදෙනෙකි. බැලූ බැල්මට පෙනෙන්නේ දෙදෙනාගේ ම වයස අවුරුදු දොළහකට නොවැඩි බවකි . තත්පර දොළහක පමණ කාලයක් මහත් ජවයකින් යුතුව කළ පොරබැදීමකින් පසු, සිය ප්‍රතිමල්ලවයා පොර පිටියෙන් ඉවත්කිරීමට ‘කජිවාරා‘ සමත් වන්නී ය. කජිවාරා එලෙස තරග වැදුණේ දෙවන වරටත් පැවැත්වෙන ‘ කාන්තා වන්කාපු සුමෝ තරගාවලියේ‘ වයස අවුරුදු 8 – 12 කාණ්ඩයේ ශූරතාව සඳහා ය.
ජපානයේ සුමෝ ක්‍රීඩාව යන වදන ඇසුණු විගස සිහිවන්නේ අමුඩවලින් පමණක් සැරසී, එකිනෙකා හා පොරබදන මහත දෙහෙත ශරීර ඇති මල්ලවපොර යෝධයන් ය. මෙම තරගාවලියේ දී එවන් සද්දන්තයන් දැක ගැනීමට ලැබෙන්නේ නැත. කාන්තාවන්ට ම පමණක් වෙන්වූ වන්කාපු තරගාවලියට සහභාගිවන කජිවාරා ඇතුළු සෙසු සියලු ගැහැනු ළමයින් ද එලෙස තරග වදින්නේ ශූරතාව දිනනු සඳහා ම පමණක් නොවේ. ඔවුන්ගේ මේ වෑයම, පුරුෂ පාර්ශ්වයේ අධිකාරීත්වයට නතු වූ ජපානයේ ජාතික ක්‍රීඩාවේ අනාගතය ස්ත්‍රී හිතවාදි වෙනසකට ලක්කිරීම ද වෙනුවෙනි.

කජිවාර
කජිවාරා සිය ශූරතා සහතික අතැති ව – cnn.com

“මං සුමෝ ක්‍රීඩා කරනවා කිව්වාම හුඟක් දෙනා මං දිහා බලන්නේ පුදුමයෙන් වගේ ම තැතිගැන්මකින්. එයාලා හැමෝ ම වගේ හිතන්නේ සුමෝ කියන්නේ පිරිමින්ටයි හා පිරිමි ළමයින්ටයි විතරක් සීමා වුණු ක්‍රීඩාවක් කියලයි.” කජිවාරා කියයි.

සුමෝවලට කැමති නම් එය ක්‍රීඩා කරන්න ගැහැනුකම බාධාවක් නොවේ යයි කියන, උපැස් පැළඳි, මෘදු කටහඬක් හිමි දොළොස් හැවිරිදි කජිවාරා, සුමෝ ක්‍රීඩාවට පය තැබුවේ මීට සිව් වසරකට පමණ පෙර ය. ජූඩෝ ක්‍රීඩා පුහුණුවීම් කරන අතරවාරයේදී ම ඇය හරි හරියට සුමෝ පුහුණුවීම් ද සිදු කළා ය.

සුමෝවලට කැමති නම් එයට ගැහැනුකම බාධාවක් නොවේ

ගැහැනු ළමයින් උදෙසා 2019 දී පැවැත්වුණු වන්කාපු මංගල තරගාවලියේදී ම වයස අවුරුදු 8 – 12 අතර කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ කජිවාරා මෙවර තරගාවලියේ දී තරග වදින්නේ ඇය දිනූ කිරුළ රැකගැනීමට යි. ඇය විශ්වාස කරන්නේ පිරිමින් හා සමාන ලෙස ම කාන්තාවන් හා ගැහැනු ළමයින් ද මෙම ක්‍රීඩාවට එක්වීමට උනන්දු වන්නේ නම්, සුමෝ ක්‍රීඩාවෙන් කාන්තාවන්ට ද මුදල් ඉපයීමට හැකි බව යි.

“මං සුමෝ ක්‍රීඩා කරන්නේ ඇයි කියලා හුඟක් අයට තේරුම් ගන්න බැහැ. මං නම් ඔය වගේ අය කියන දේවල් ගණනකට ගන්නේ නැහැ. ඔයා සුමෝ ක්‍රීඩා කරන්න කැමති නම්, ඔයා ඒ දේ කළ යුතුයි කියන මතයේයි මං ඉන්නේ.”

wankapu tournament
වන්කාපු  සුමෝ තරගාවලියේ  පෙරහුරුවක  යෙදෙන  ගැහැනු ළමයි – cnn.com 

ළා බාල කජිවාරා එසේ පැවසුවත් ජපානය වැනි සම්ප්‍රදායට නතු වූ රටක එවැන්නක් කීමට වඩා කිරීම වඩාත් අපහසු ය. කාන්තාවන් සඳහා වන්කාපු වැනි සුමෝ තරගාවලි සීමිත සංඛ්‍යාවක් පැවැත්වුණ ද, වෘත්තීය මට්ටමේ සුමෝ තරගාවලි හා උත්සව තවමත් කාන්තාවන්ට තහනම් බලප්‍රදේශ ය. කාන්තාවන්ට සැලකීම සම්බන්ධයෙන් පුරුෂ කේන්ද්‍රීය රටක් වන ජපානය තවමත් සතුටුදායක මට්ටමකට ළඟාවී නැති බව රහසක් නොවේ.

ලෝක ආර්ථික සම්මේලනය මෑතදී ප්‍රකාශයට පත්කළ කාන්තා හා පුරුෂ භූමිකා අතර වෙනස දක්වන ගෝලීය දර්ශකයට අනුව ජපානයට හිමි ව තිබෙන්නේ එකසියවිසි වැනි තැන ය. ඒ රටවල් එකසිය පනස් හයක් අතරිනි.

වන්කාපු
ඩොහියෝ  වළල්ල මැද  පොර අල්ලන සුමෝ දැරියන් දෙදෙනෙක් – cnn.com 

සුමෝ ක්‍රීඩාව හා බැඳුණු කාන්තා වාරණය ප්‍රදර්ශනය කෙරුණු අවස්ථාවක් ලෙස කියෝටෝ නුවර2018 දී පැවති සුමෝ තරගාවලියේ සිදුවීම ජාත්‍යන්තරයේ ම විවේචනයට ලක්විය. තරගාවලිය නැරඹීමට පැමිණ, හදිසියේ රෝගී වූ නගරාධිපතිවරයකුට උවැටන් කිරීමට සුමෝ තරග බිමට පැමිණි වෛද්‍යවරියන් තරග බිමෙන් ඉවත් කිරීම එම සිදුවීම යි. එය කාන්තාවන්ට ජපාන සමාජය තුළ හිමි ව ඇති ස්ථානය මනාව ප්‍රකට කරන්නක් විය. කජිවාරා වැනි නව යොවුන් දැරියන් සුමෝ නමැති ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම පාරම්පරික ක්‍රීඩාවට අවතීර්ණ ව සිටින්නේ එවන් අභියෝග රැසක් මැද ය. ඒ සුමෝ ක්‍රීඩාව තුළ කාන්තාවට හිමි නිසි තැනත්, වටිනාකමත් ලබා දීමේ අපේක්ෂාවෙනි.

අතීතයේදීත් සම්ප්‍රදාය බිඳ දැමූ සුමෝ ක්‍රීඩිකාවෝ

වෘත්තීය මට්ටමේ සුමෝ හෙවත් ‘ඔසුමෝ‘ ක්‍රීඩාව වසර එක්දහස් පන්සීයයකටත් වඩා ඉපැරණි ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන්නකි. ක්‍රීඩාවක් යැයි සාමාන්‍ය ව්‍යවහාරයේ දී පැවසුව ද සුමෝ යනු සාරවත් අස්වනු ලබා දෙන ලෙස අයදිමින්, ජපානයේ ෂින්ටෝ ආගමික සිද්ධස්ථානවල සිදු කරන එක්තරා පිළිවෙතකි. මැටියෙන් කළ ‘ඩොහියෝ‘ යනුවෙන් හැඳින්වෙන පීඨිකාවක් මත පිරිමි මල්ලවපොර ශූරයන් දෙදෙනකු තරග වදින මෙම පිළිවෙත තත්පර කිහිපයකට සීමා වූවකි. සම්ප්‍රදායක් ලෙස කාන්තාවන්ට සුමෝ තරග බිමට පිවිසීම පවා තහන ම්ව තිබෙන්නේ ෂින්ටෝ ආගමික ඇදහිලිවලට අනුව කාන්තාව අපවිත්‍ර යැයි සැලකෙන නිසා ය.

එවන් වාරණ මැද වුවද ක්‍රීඩාවේ ආරම්භයේ පටන් ම කාන්තා සුමෝ තරග විටින් විට පැවැත්වුණු බව පවසන්නේ නිපොන් ක්‍රීඩා හා විද්‍යා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘අයිකෝ කනේඩා‘ය. ඔහු ඊට සාක්ෂි ලෙස දක්වන්නේ ජපාන ඉතිහාසය ගැන කියැවෙන, දෙවනුවට ඉපැරණි ම පොත වන ‘The Chronicles of Japan’ නමැති අටවන ශතවර්ෂයට අයත් ලියැවිල්ල යි. ‘යුර්යාකු‘ නමැති ජපාන අධිරාජ්‍යයා සිය රාජසභාවේ සිටි සුළු නිලධාරිනියන් දෙදෙනකුට සුමෝ ක්‍රීඩාවට කළ ඇරියුමක් ගැන එහි සඳහන් ය.

කාන්තාවක හා අන්ධයකු අතර පැවති සුමෝ තරඟයක් ගැන අපූරු විස්තර කථනයක් ලබා දීමට එඩෝ යුගයේ දී ( ක්‍රිස්තු වර්ෂ 1603 – 1867) ප්‍රකාශයට පත් වූ ‘Ukiyo zoushi’ නමැති සාහිත්‍ය ග්‍රන්ථය ද සාධක සපයයි. දුෂ්කරතා මැද වුව ද සුමෝ ක්‍රීඩාවට ඉඳහිට හෝ කාන්තාවගේ තිබූ මෙම සම්බන්ධයට ක්‍රිස්තු වර්ෂ 1873 දී මුළුමනින් ම තිත වැටිණි. වාසනාවකට මෙන් මෙම තහනම ක්‍රියාත්මක වූයේ කෙටි කලකට පමණක් බව මහාචාර්ය කනේඩා පවසයි.

ඩොහියෝ
වෘත්තීය මට්ටමේ සුමෝ ක්‍රීඩකයෝ   – cnn.com

තහනම ක්‍රියාත්මක වී වසර කිහිපයකට පසු එය ඉවත්කර ගැනුණා පමණක් නොව 1930 වන විට කාන්තා සුමෝ තරග ජාත්‍යන්තර තලයට යෑමට පවා වාසනාවන්ත විය. ඒ සුමෝ ක්‍රීඩිකාවන්ගේ සවිය ප්‍රදර්ශනය කරනු වස් හවායිහී ජාත්‍යන්තර මට්ටමේ තරගයක් පැවැත්වීමත් සමඟ ය. මහාචාර්ය කනේඩා පවසන ආකාරයට වනිතා සුමෝ ක්‍රීඩාව යනු හුදෙක් වින්දනය පමණක් අරමුණු කරගත්තක් නොවේ.

කාන්තාවන් සතු ජවය

කාන්තාවන් සතු ජවය හා බැඳුණු ගුණාංග ඉස්මතු කිරීම ද එහි මූලික පරමාර්ථයකි. එය අද ඊයෙක සිට ඇරඹුණක් ද නොවේ. වර්ෂාව ලබා ගැනීම පිණිස වර්ෂාවට අධිපති දෙවිවරුන් කෝප ගැන්වීමටත්, විවාහ උත්සව වැනි මංගල අවස්ථා සැමරීම සඳහාත් ඈත අතීතයේ පටන් ම සුමෝ මල්ලවපොර ශූරියන් යොදා ගත් බවට ඉතිහාසගත වාර්තා ද සාක්ෂි දරයි.

සුමෝ ක්‍රීඩිකාවෝ
ඩොහියෝ  වළල්ලෙන්  පිට පනින සුමෝ  ක්‍රීඩකයෙක්  –  buzzfeednews.com

සුමෝ ක්‍රීඩාවට නිසි තැන දෙන්නට ජපාන විශ්වවිද්‍යාලත් ඉදිරියට

මිකී ඖකි, තෝකියෝවට නුදුරින් පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක, මල්ලවපොර ක්‍රීඩා පුහුණුවීම් භාර නිලධාරියෙකි. මිකීට ඇති ලොකුම ආඩම්බරය වන්නේ තම සුමෝ පුහුණුවීම් කණ්ඩායමේ සිටින බහුතරයක් වයස අවුරුදු 8 – 12 දක්වා වූ ගැහැනු ළමයින් වීම ය. කනගාටුවට කරුණ නම් එලෙස ළාබාල වයසේ සිට සුමෝ පුහුණුවන ගැහැනු ළමයින්ට සිය දක්ෂතා ප්‍රයෝජනයට යෙදවිය හැකි සුමෝ ක්‍රීඩා සමාජ ජපානයේ විරළ වීම ය.

මේ නිසා කුඩා වියේදි සුමෝ පුහුණුවන ගැහැනු ළමයින් පසුකලකදි ජුඩෝ හෝ මල්ලවපොර ක්‍රීඩාවට යොමුවීමට සිදුවන්නේ නිතැතිනි. මිකීගේ සුමෝ පුහුණු පංතියේ සිටින දක්ෂත ම තාරකාවිය වන දොළොස් හැවිරිදි නිකෝරි හාරා සූදානමින් සිටින්නේ මෙවර පැවැත්වෙන වන්කාපු තරගාවලියට සහභාගි වීමට ය. කලාපීය මට්ටමින් පැවැති සුමෝ තරගාවලියේ දී වයස අවුරුදු 8- 12 කාණ්ඩයේ ශූරතාව හිමි කර ගත් නිකෝරි හාරාගේ මීළඟ බලාපොරොත්තුව වන්නේ කෙසේ හෝ ජාතික මට්ටමේ ශූරතාවක් දිනා ගැනීම යි.

මිකී පවසන ආකාරයට සුමෝ ක්‍රීඩාවට කාන්තාවන් යොමු වීමේ ප්‍රවණතාව අඩුවීමට එක් හේතුවක් නම් තවමත් වනිතා සුමෝ ක්‍රීඩාව ගැන ජනප්‍රිය මතයක් සමාජයේ ගොඩනැඟී නොතිබීම ය. සුමෝ ක්‍රීඩාවේ නියැළීමටත්, ඉන් අනාගතය සවිමත් කර ගැනීමටත් කාන්තාවට ඇති අවස්ථා බහුතරයකට තවමත් සිහිනයකි..

රිට්සුමෙයිකාන්
රිට්සුමෙයිකාන්  විශ්වවිද්‍යයාලයේ සුමෝ සමාජයක සාමාජිකයන්  පොරවදින අවස්ථාවක්  -buzzfeednews.com

” සුමෝ ක්‍රීඩා කරන්න කැමති ගැහැනු ළමයකුට මුලින් ම පුළුවනි තමන්ගේ ගමේ හෝ පාසලේ කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයට ම පොදුවේ තියෙන සුමෝ ක්‍රීඩා සමාජයකට බැඳෙන්න. එයා දිගට ම සුමෝ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා නම් එයාට පුළුවනි සුමෝ ක්‍රීඩා සමාජවලට කාන්තාවන් බඳවා ගන්න ඉදිරිපත්වෙන ගණනින් සීමිත වූ ජපාන විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න.”

කාන්තා හිතවාදි සුමෝ තරග ජාතික තලයටත්

සුමෝ ක්‍රීඩා කරන්නට දිගට ම ඇවැසි නම් විශ්ව විද්‍යාලයකට ම යා යුතු බව කියන හියෝරි කොන් ජපානයේ සුමෝ ජාතික කණ්ඩායමේ සාමාජිකාවකි. ළමා වියේ දී අයිකි ප්‍රදේශයේ ග්‍රාමීය මට්ටමින් පිහිටි සුමෝ ක්‍රීඩා සමාජවල පුහුණුවීම් කළ හියෝරි පසුව කියෝතෝවේ ‘රිට්සුමෙයිකාන් විශ්ව විද්‍යාල‘ සුමෝ ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූවා ය.

ඇය අද ජපානයේ සුමෝ ජාතික කණ්ඩායමේ ආධුනික ක්‍රීඩිකාවක ලෙස සම්බන්ධ ව සිටින්නේ රැකියාවේ නිරතවන අතරවාරයේදී ම ය. මෙවර වන්කාපු ජාතික සුමෝ තරගාවලියේ දී, ප්‍රාථමික පංතියේ ගැහැනු ළමයින්ගේ සුමෝ තරග සඳහා සජීවි විස්තර කථනය සිදු කළේ ද හියෝරි ය. කාන්තාවන් සඳහා දෙවන වරටත් විවෘත වූ වන්කාපු සුමෝ තරගාවලිය ඇය හඳුන්වන්නේ ජපාන සමාජය ගතානුගතිකත්වය ඉවත ලා කාන්තා සුමෝ ක්‍රීඩාවට සහාය දැක්වූ අවස්ථාවක් ලෙස යි.

වන්කාපු  මංගල තරගය
වන්කාපු  මංගල තරගයේ අවස්ථාවක් – cnn.com

“ වන්කාපු තරගයට ඉදිරිපත්වුණු හැම ගැහැනු ළමයකුට ම එයාගේ වයස් කාණ්ඩය අනුව කේතගත කළ වර්ණ ටී ෂර්ට් ලබා දීලා තිබුණා. ඒ හැමෝ ම ස්පැන්ඩෙක්ස්වලින් මහපු දිග කලිසම්වලට උඩිනුයි ‘මවාෂී‘ එක ඒ කියන්නේ සම්ප්‍රදායික සුමෝ ක්‍රීඩකයන් අඳින අමුඩය ඇඳලා හිටියේ. ජපානයේ සුමෝ ක්‍රීඩාව මේ වෙනකොට කොයිතරම් දුරට කාන්තා හිතවාදී විදිහට පරිණාමය වෙලා තියෙනවාද කියන එක මේ වගේ දේවල්වලින් ඔප්පු වෙනවා.“ 

හුදෙක් විනෝදය හෝ සම්ප්‍රදායට ගරු කිරීම පතා කරන පරම්පරාගත ක්‍රීඩාවක් ලෙස ලෝකයා සුමෝ දෙස බැලුව ද, එය අතට මිටට දැනෙන ආදායමක් උපයාගත හැකි වෘත්තීය මට්ටමේ ක්‍රීඩාවක් බව වැඩි දෙනකුට රහසකි. දැනට ගෙවීම් කරන්නේ ශ්‍රේණිගත කිරීම්වල මුල් ම කාණ්ඩ හයේ සිටින වෘත්තීය මට්ටමේ සුමෝ ක්‍රීඩකයන්ට පමණක් වුව ද හියෝරි පවසන්නේ එය වෙනස් විය යුතු බව යි.

ජාතික ඔලිම්පික් කමිටුවේ පිළිගැනීම

සාමාන්‍යයෙන් එම කාණ්ඩ හයේ පළමුවැනි කාණ්ඩය වන ‘යොකුසුනා‘ මට්ටමේ සුමෝ ක්‍රීඩකයකුට ත්‍යාග මුදල්වලට අමතර ව අමෙරිකා ඩොලර් විසිපන්දහසක මාසික ආදායමක් ඉපයීම අසීරු නැත. අභාග්‍යයකට මෙන් සුමෝ ක්‍රීඩිකාවන්ට එවන් ආර්ථික ප්‍රතිලාභ ඉපයීමේ වරම තවමත් අහිමි ය. සුමෝ, ක්‍රීඩාවක් ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ පිළිගැනීමට ලක්වුණේ 2018 දී වුව ද තවමත් සුමෝ ක්‍රීඩිකාවන් සැලකෙන්නේ ආධුනිකයන් ලෙස ය.

කජිවාරා මිතුරන් සමඟ
කජිවාරා වන්කාපු තරගයට එක්වූ සෙසු මිතුරුමිතුරියන් සමඟ   – cnn.com

“කාන්තා සුමෝ ක්‍රීඩාව තවමත් පිළිගැනෙන්නේ සුළු පරිමාණයේ ක්‍රීඩාවක් විදිහට යි. ඒ නිසා ම කාන්තා සුමෝ ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රතිපාදන ලැබෙන්නෙත් නැතැ. කාන්තා ජාතික කණ්ඩායමට පුහුණුවීම් කඳවුරක්වත් පවත්වගන්න තවමත් බැරි වෙලා තියෙන්නේ මේ වගේ කුඩම්මා සැලකිලි නිස යි.”

එලෙස කියන හියෝරි කොන්ගේ සිහිනය වන්නේ සුමෝ ක්‍රීඩිකාවන් සුමෝ ක්‍රීඩාවේ ඉහළ ම නිපුණතා ශ්‍රේණිය වන ‘ඔසුමෝ‘ මට්ටමට ළඟා වනවා දැකීම පමණක් ම නොවේ. වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් ලෙස, පිරිමින් හා සමාන අන්දමින් ගෙවීම් ලැබෙන, ඒ නිසා ම සුමෝ ක්‍රීඩාව වෘත්තීයක් ලෙස කර ගෙන යාමට කාන්තාවට අවකාශ ලැබෙන වාතාවරණයක් බිහිවනවා දැකීම ය. එය හියෝරි කොන්ගේ පමණක් නොව සම්ප්‍රදායට අභියෝග කරන සෑම සුමෝ ක්‍රීඩිකාවකගේ ම සිහිනය වනවාට සැකයක් නැත. 

Roar Media වෙබ් පිටුවෙන් උපුටා පළකරන ලදී.

More from author

රට කරවන්න දියවන්නාවට ගොස් වසර 40යි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අදට (29) වසර 40 ක් සපිරෙනවා. ගාලු...

ලෝක මැලේරියා දිනය අදයි (25)

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා. වෛද්‍යවරු පවසන්නේ මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන...

‘අරගලයට නිවැරදි මගපෙන්වීම ලබාදීම වැඩකරන ජනතාවගේ වගකීමක්’ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී....

ශ්‍රී ලංකාව රටක් විදිහට දැන් ගෙවමින් ඉන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක්. වැඩ කරන ජනතාව, මේ රටේ...

රට ගොඩගැනීමට ඉදිරිපත් කළ IMF නිර්දේශ

මෑතක දී සංවාදයට ලක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් අදාළ...