“ඉන්දියාවෙන් දැනට අපට ලැබිලා තියෙන්නේ ණය පිරිනැමීමේ ලිපිය පමණයි” – උදය ගම්මන්පිල

මෙරටට මාසිකව ඉන්ධන ආනයනය කරන්න ඩොලර් මිලියන 400ක් අවශ්‍ය බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියන්නේ. විදුලි නිෂ්පාදනයටත් සමඟ ගත්විට ඉන්ධන ආනයනයට මාසිකව ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බව ඔහු කියනවා.

“අපේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 1,000යි. එයින් ඇත්තටම රටට එන්නේ ඩොලර් මිලියන 750 – 800ක් විතර. ඒකෙන් ඩොලර් මිලියන 500ක් නැතිනම් තුනෙන් දෙකක් තෙල් වෙනුවෙන් ඉල්ලුවාම බැංකු කොහොමද ඒක කරන්නේ.

එක පැත්තකින් රට ඇතුළට විදේශ විනිමය ගලා ඒම අඩු වෙලා තියෙන අතරේ අනිත් පැත්තෙන් ඉන්ධන සඳහා යන වියදම බරපතළ ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉන්ධන පරිභෝජනය ඉහළ ගිහිල්ලා තියෙනවා වගේම ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තිබීම ඊට හේතුවයි. ඊයේ වන විට වසර ගණනාවකට පසු වාර්තාවන ඉහලම ඉන්ධන මිල ලෙස ඩොලර් 87ක මිලක් වාර්තා වුණා. යුරෝපයේ තිබෙන ශීත දේශගුණය සමග මීටත් වඩා තෙල් මිල ඉහළ ගිහිල්ලා තෙල් බැරලයක මිල ඩොලර් සීය දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා අනාවැකි පළ කරලා තියෙනවා. අපි දැවැන්ත අභියෝගයක ඉන්නේ. නමුත් මේ දක්වා ප්‍රබල රටවල ඉන්ධන හිඟයක් ඇති උනාට මාස හතක් පුරාවට ඉන්ධන හිඟයක් ඇති වන බවට විපක්ෂයේ අනාවැකි පළ කරාට මහා දුෂ්කර වෑයමක ප්‍රතිඵලයක් ලෙස අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

ඉන්දියානු විදේශ අමාත්‍යතුමන් විසින් අපේ විදේශ අමාත්‍ය තුමන්ට ඩොලර් මිලියන 500 ඉන්ධන මිල දී ගැනීමේ ණය පහසුකමක් පිරිනමමින් එවන ලද ලිපියේ පිටපතක් මටත් යොමු කර තිබුණා. එය ඉතාම ආකර්ශනීය පොලී අනුපාතයක් යටතේ තමයි ඉදිරිපත් කරලා තියෙන්නෙ. London Interbank Offered Rate (LIBOR) පවතින අනුපාතයට 1.25% ප්‍රතිශතයකට එකතු කරපු ණය පොලිය අනුපාතිකයක් එතකොට 2% වගේ තමයි මේ ණය පහසුකම ට පොලිය අය කරන්නේ. ඒ වගේම මේ ඩොලර් මිලියන 500 ගෙවන්න අපට වසරක කාලයක් දෙනවා. අපි ඒක ගෙව්වට පස්සෙ නැවත නැවතත් අපිට එය පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා.

දැනට අපට ලැබිලා තියෙන්නේ පිරිනැමීමේ ලිපිය පමණයි. ඊට පස්සේ අපිට ගිවිසුම් පිටපත ලැබෙන්න ඕන. ගිවිසුම් පිටපත නීතිපතිවරයා විසින් නිශ්කාෂණය කළාට පස්සෙ අපේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත් ඉන්දියාවේ එක්සින් බැංකුවත් අතර ගිවිසුමක් අත්සන් තැබෙනවා. ඊට පසු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා අපට අවශ්‍ය ඉන්ධන තොග මිලදී ගැනිමේ හැකියාව තියෙනවා”යි අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles