බුවනෙකබාහු රජුගේ අනවසර ඉදිකිරීම

බුවනෙකබාහු රජුගේ අනවසර ඉදිකිරීම

13 වන සියවසට අයත් කුරුණෑගල රාජධානි සමයේ දෙවන
බුවනෙකබාහු රජතුමා විසින් ඉදිකරන ලදැයි පැවසෙන ඓතිහාසික
ගොඩනැගිල්ලක් කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා විසින්
ඩෝසර්කර කඩා ඉවත්කර දමා තිබෙනවා. ඒ පසුගිය 15 වන දා
රාත්‍රියේයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගොඩනැගිල්ල කුරුණෑගල රාජධානි
සමයේ දී බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා ගොඩනගිල්ල ලෙස
භාවිත වී ඇති බවයි. පසුකාලීනව අසූව දශකයේ දී පමණ මෙම
ගොඩනැගිල්ලේ බදු පදනම මත අවන්හලක් සහ මත්පැන්හලක් ද
පවත්වාගෙන ගොස් තිබෙනවා. බදු කාලය අවසන් වීමෙන් පසුව මෙම
එහි අයිතිය පැවරී ඇත්තේ කුරුණෑගල නගර සභාවටයි.

මෙවන් පසුබිමක් යටතේ මාර්ගය පුළුල් කිරීමට බව පවසමින් මෙම
ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත්කිරීමට කුරුණෑගල නගර සභාව
තීරණය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව
පසුගිය 6 වන දා කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත්
කොට තිබෙනවා. එසේ තිබියදීයි මෙම රාජ සභා ගොඩනැගිල්ල
සම්පූර්ණයෙන්ම කඩා ඉවත්කිරීමට කුරුණෑගල නගරාධිපතිවරයා
ක්‍රියා කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් නැවත කුරුණෑගල පොලිසියට
තවත් පැමිණීල්ලක් ඉදිරිපත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව
කටයුතු කර තිබෙනවා. කෙසේවෙතත් මෙම පැමිණිලි දෙකම
සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්
නිසා මේ සම්බන්ධව පොලිස්පතිවරයාට ලිඛිතව සහ වාචිකව
දැන්වීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පියවර ගත් බවයි පුරාවිද්‍යා
අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල
නගරාධිපතිවරයා පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ
මෙම ගොඩනැගිල්ල කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් නොමැති
අනවසර ඉදිකිරීමක් පමණක් බවයි.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles